පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින් සිහිකරමින් වැඩසටහන් රැසක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර පහක් පිරීම නිමිත්තෙන් ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව ජාතික කතෝලික සභාව පවසනවා.

ඒ අනුව, අද උදෑසන 8.40ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සර්ව ආගමික නායකයින්ගේ සහ තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිපත් කරමින් 05වැනි සැමරුම පැවැත්වෙනවා.

එහිදී, අද උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇති.

එමෙන්ම ඊට සමගාමීව උදෑසන 8.45ට මීගමුව කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානයේ සහයක රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාවක් පැවැත්වෙනු ඇති.

අනතුරුව, සවස 3.30ට මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් භූමීයෙන් ඇරඹෙන ‘යාච්ඥාවේ පාගමන’ කටුවපිටිය සා. සෙබස්තියන් දේවස්ථානය දක්වා කාදිනල් හිමිපාණන්, රදගුරු තුමන්ලා, සර්ව ආගමික නායකයින් සහ ජනතාවගේ සහභාගීත්වයෙන් ගමන් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියලුම රදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන යාච්ඥා මෙහෙය කටුවපිටිය දේවස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර, දේවස්ථානවලදී මියගිය සැඳැහැවතුන්ව “විශ්වාසයේ සාක්ෂිකරුවන්” ලෙස නම්කරන්නැයි ඉල්ලමින් කතෝලික සැඳැහැවතුන් අති උතුම් කාදිනල් හිමිපාණන් වෙත තම අත්සන් පිටපත් භාරදීම මෙම මෙහෙයේදී සිදු කරනු ඇති බවත් කතෝලික සභාව නිවේදනය කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *