අමෙරිකාවේ තාක්ෂණය සොරා ගත් චීන ජාතිකයින් දෙදෙනෙකුට නඩු

අර්ධ සන්නායක ආශ්‍රිත යන්ත්‍රෝපකරණ නීතිවිරෝධී ලෙස චීන සමාගමකට අපනයනය කිරීමේ ගනුදෙනුවක කොටස්කරුවන් වීමේ චෝදනාව යටතේ චීන ජාතිකයින් දෙදෙනෙකුට චෝදනා ගොනු කර තිබෙනවා.

ඔවුන්ට එරෙහිව සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ෆෙඩරල් නඩු පවරන්නන් විසින් එලෙස නඩු පවරා ඇත්තේ 44 හැවිරිදි හන් ලී (Han Li) සහ 64 හැවිරිදි ලින් චෙන් (Lin Chen) නමැති චීන ජාතිකයින් දෙදෙනෙකුට බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඒ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත සහ අපනයන පරිපාලන රෙගුලාසි උල්ලංඝනය කිරීම යටතේ යි.

කැලිෆෝනියාවේ පිහිටි සමාගමක් විසින් සිලිකන් වේෆර් මයික්‍රොචිප් සැකසීමට භාවිතා කරන යන්ත්‍රයක් අපනයනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් එම චීන ජාතිකයින්ට චෝදනා එල්ල වනවා.

හන් ලී නැමැත්තා චිකාගෝහි දී අත්අඩංගුවට ගෙන ඇති අතර ලින් චෙන් චීනයේ සිටින බවයි විශ්වාස කෙරෙන්නේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් FBI විශේෂ නියෝජිත රොබට් ට්‍රිප් පවසා ඇත්තේ, “අමෙරිකාවේ තාක්‍ෂණය චීනයට නීති විරෝධී ලෙස අපනයනය කිරීම නැවැත්වීම FBI හි ඉහළම ප්‍රමුඛතාවක්. අපගේ ජාතික සහ ආර්ථික ආරක්ෂාව තර කිරීම සඳහා නිර්මාණය කර ඇති අපනයන පාලන නීති උල්ලංඝනය කරන ඕනෑ ම අයෙකු අපි ආක්‍රමණශීලී ලෙස හඹා යන්නෙමු” යනුවෙන්.

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, “අමෙරිකානු තාක්‍ෂණය සොරකම් කිරීමට බලාපොරොත්තු වන අපරාධකරුවන්ගේ පැතිර යන තර්ජනයෙන් ආරක්ෂා වීමට ව්‍යාපාරික නායකයින් ඔවුන්ගේ ප්‍රාදේශීය FBI ක්ෂේත්‍ර කාර්යාලය සමඟ සබඳතාවක් ඇති කර ගැනීමට දිරිමත් කළ යුතු බවයි.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *