කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව යළි පණ ගන්වන්නට යයි

කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව යළි පණ ගන්වන්නට යයි. ඒ සඳහා වන සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කරන්නට පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
ඒ අනුව අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පසුගිය සිකුරාදා (22) දින කොලොන්නාව රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
නව තාක්ෂණයත් සමඟ තරගකාරී වෙළඳපොලක් නිර්මාණය කර ගැනීමට සැලසුම් සැකසීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.
එහිදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ප්‍රධානීන් හා නිලධාරින් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ එක් එක් අංශ සඳහා කණ්ඩායම් කිහිපයක් ලෙස නිරීක්ෂණය සඳහා එක්වූ අතර ඔවුන් ඒ ඒ අංශවල වර්තමාන තත්ත්වය හා සාධනීය යෝජනා පිළිබඳව අධ්‍යනයක නිරත විය.
ඒ අනුව නිරීක්ෂණ චාරිකාව හා අධ්‍යනයෙන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් දුන්නේ කඩිනමින් රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව සඳහා අලෙවි සැලසුමක් හා වාර්ෂික සැලැස්මක් සකස් කරන ලෙසයි.

එම සැලැස්ම අමාත්‍යාංශයට කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආනන්ද විජේසිංහ මහතාට උපදෙස් ලබා දුන්නේය.

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව අඩාල වීමට හේතුවී ඇත්තේ එහි නිෂ්පාදන අලෙවි කිරීම සඳහා විදිමත් වැඩපිළිවෙලක් නොමැති වීම බව මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව පැවැති සාකච්ඡාවේදී අනාවරණය විය.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර සිටියේ එබැවින් කඩිනමින් ආයතනයේ සියළුම අංශවලි අලෙවි වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලෙසයි.
රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය 769ක් වුවද දැනට සේවය කරනු ලබන්නේ 311ක පිරිසක් පමණි.
කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ ඒ ඒ අංශවල වර්තමාන තත්ත්වය හා සාධනීය යෝජනා පිළිබඳව අධ්‍යනයක නිරත වූ අමාත්‍යාංශයේ හා අනුබද්ධිත ආයතනවල නිලධාරින් කියා සිටියේ ආයතනයේ වැඩකටයුතු සිදු කිරීමේදී සේවක පුරප්පාඩුව හේතුවෙන් ගැටළු රැසකට මුහුණ පා සිටින බවයි.

කළමනාකරණ සේවා දෙපාර්තුමේන්තුවට ඉල්ලීමක් ඉදිරිපත් කර අවශ්‍යතාවය අනුව සේවක පිරිස් බදවා ගැනීමට හැකි බවද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවැසුවේය.
රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව 1849 වර්ෂයේ එවකට පැවති බ්‍රිතාන්‍ය පාලනය විසින් කොළඹ ගෑස්පහ හංදියේදී ආරම්භ කර ඇත. 1928 වර්ෂයේදී රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ, යාන්ත්‍රික වැඩපල වශයෙන් දැනට පවතින කොලොන්නාව භූමියේ රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ සියළුම යාන්ත්‍රික ඉංජිනේරුමය කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලදි. 1971 වර්ෂයේදී “ ඒ ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වශයෙන් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව පත් කර ඇත.

දැනට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත ජල පාලන දිය දොරටු සාදා සැපයීම, සවි කිරීම හා නඩත්තුව, තැපැල් දෙපාර්තමේන්තුවේ දින මුද්‍රා හා දින කැට සාදා සැපයීම, පොලිස් දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ සාජන් පටි සෑදීම, දැවමය ගෘහ භාණ්ඩ සාදා සැපයීම, ජල සම්පාදන මණ්ඩලයේ ජලය පිරිපහදු ටැංකි සෑදීම, රාජ්‍ය උත්සව සඳහා පිලිගැනීමේ පීඨිකා සවි කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යකඩ පාලම් සාදා සවිකිරීම, ආයතන වල කාමර වෙන් කිරීම (නාම පුවරු සාදා සවි කිරීම, රාජ්‍ය ආයතනවල වාහන සේවා හා නඩත්තු කිරීම, ශ‍්‍රී ලංකා දුම්රිය සේවය වෙත චීනචට්ටි, තිරිංග පලූ ඇතුළු චීනචට්ටියෙන් නිම කරන ලද භාණ්ඩ සාදා සැපයීම, දැවමයෙන් හා යකඩයෙන් නිම කරන ලද රෝහල් උපකරණ සාදා සැපයීම, බොයිලේරු සහ ගෑස්නල පද්ධති නඩත්තු කටයුතු සිදු කිරීම. තාක්ෂණික සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ ඉංජිනේරු සිසුන් සඳහා ප‍්‍රායෝගික පුහුණුව ලබා දීම ආදී කටයුතු සිදුකරනු ලබයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද මහතා මෙසේද පැවසීය,

“රජයේ කර්මාන්ත ශාලාව පසුගිය කාලයේ යම් යම් හේතු නිසා පසුබෑමකට ලක්වුණා. කොවිඩ් සහ ආර්ථික අර්බුදය එයට විශාල බලපෑමක් එල්ල කළා. තිබෙන තත්ත්වයෙන් මේ ආයතනය ගොඩගන්න අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා නව වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කරමින් යනවා. තනියම මේ කාර්යය සිදු කරන්නට අපහසුයි. ඒ සඳහා ආයතනයේ මෙන්ම අනුබද්ධිත ආයතනවලත් සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ නිසයි අද අපි මේ වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ. රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් ආයතනයක්. මේ ආයතනයේ හොඳම කාලය වන්නේ 1960 -70 කාලයේයි. මෙරටට විවෘත ආර්ථිකය හදුන්වලා දීමත් සමඟ විදේශීය ආයතන පැමිණිමත්, මෙරට පෞද්ගලික අංශයේ තරගකාරීත්වය හමුවේ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව පසුබෑමටක ලක්වුණා. රජයේ ආයතනයක් වන නිසා තරගකාරීත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ. මේ තරගකාරීත්වයට මුහුණ දිය හැකි ආයතනයක් බවට පත් නොවුනොත් අපට පැවැත්මක් නෑ. මේ කර්මාන්ත ශාලාව නැවත නගා සිටුවීමට අපි කටයුතු කරමින් සිටිනවා. මෙම ආයතනය අලෙවි කරනය කරන්නට ඕනේ. ලාබ ලබන ආයතනයක් කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අංශයෙන් අංශයට හදන්න. වත්මන් වෙළඳ පොළට හරියට ලෙස අලෙවි ප්‍රවර්ධන වැඩපිළිවෙලක් ආයතනය විසින්ම සකසන්න. අපි ඒ සඳහා උපරිම සහයෝගය ලබා දෙනවා. ” යනුවෙන්ද පැවසීය.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අනුබද්ධිත ආයතනවල, සභාපතිවරු, අධ්‍යක්ෂකවරු, සමාන්‍යාධිකාරීවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *