අද රටේ පුරවැසියන් තවදුරටත් රැවටිය නොහැකියි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය
මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා යාමෙන් පසුව, සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා. එයින් පුරවැසියන්ගේ අපේක්ෂාව වී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව උදාවී තිබෙනවා. අරගලය තුළත් ඉදිරියෙන්ම සිටි ගැහැනු විශේෂ කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මාලිමාව වටා එක්කවුණු ගැහැනුන් “ගැහැනු අපි එක මිටට” කියන තේමා පාඨයෙන් විශාල දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති වී තිබෙනවා. ඔවුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමග මේ රටේ ගැහැනුන් අපේ සහෝදරියන් සංවිධානය කරමින් නායකත්වය ලබාදීම නිසා මහන්සි වී කැපවීමෙන් කටයුතු කර, ගැහැනු අපි නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල කාර්යභාරයක් සිදුකරන බව විශ්වාසයි.
මාලිමාවේ ගැහැනුන්ගේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ලබාදෙනවා. මේ රටේ ගැහැනු බලය, අනුර සහෝදරයා සමග එකට සිටගන්නා බව අපට විශ්වාසයි. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් බොරු කියමින් ආණ්ඩුව සහ ඒ හා සමාන අනෙකුත් පක්ෂ තමන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔවුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රධාන කරුණු කිහිපයක් ජනගත කරන්න සැලසුම් කර තිබෙනවා. මේ රට අර්බුදවලින් බේරා ගන්න ඉදිරිපත් වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව නිතරම පවසනවා. මේක එක බොරුවක්. රාජපක්ෂ පවුලත් පොදු ජන එක්සත් පෙරමුණත් බේරා ගන්න රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කළ පසුව ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් හිස්වූ ජනාධිපති ධුරයට පොහොට්ටු මන්ත්‍රීවරු විසින් රනිල් වික්‍රමසිංහව පත්කර ගත්තා. මේ රනිල් වික්‍රමසිංහ ගෙනයන බොරු ප්‍රචාරයේ දෙවන කාරණය, ස්ථාවර කළ රට ඉදිරියට ගෙනයාම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක් නැති බව ප්‍රකාශ කිරීමයි. පෝලිම් යුගය අවසන් කිරීමෙන් රට ස්ථාවර බව ඔවුන් කියනවා. නමුත් මේ ලෙස ප්‍රකාශ කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර කියන මූලික අවශ්‍යතා තුන හෝ සපයා ගන්න නොහැකි වී ජන ජීවිත කඩා වැටී තිබියෙදීයි. ජන ජීවිත කප්පාදු කරගෙන තිබෙන තත්වය පිළිබඳව අසංවේදී රනිල් වික්‍රමසිංහලා ජනතාව මුලාකරන්න විවිධ දත්ත ඉදිරිපත් කරනවා.
මෑතකදී පටන් ගත් තුන්වැනි බොරු ප්‍රචාරය “හොරු ආරක්ෂා කළේ නැහැ” කියන එක. මේ තරම් කුරිරු, විහිළු කතාවක් කිසිම තැනකදී මම අහලා නැහැ. මොහුගේ දේශපාලන ජීවිතය පුරාම සිදුකර තිබෙන්නේ ඔහුගේ යහළුවන් සහ හිතවත් අය ආරක්ෂා කිරිම වෙනුවෙන් බලය යෙදවීමයි. ඔහු පාතාල නායකයන් පවා ආරක්ෂා කර තිබෙනවා. බැංකු හොරුන් ආරක්ෂා කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක, ආරක්ෂා කරන්න ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අද කියන්නේ හොරු ආරක්ෂා කළේ නැහැ කියලා. එහෙම නම් 2015 යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ වංචනිකයන්, දූෂිතයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට මැදිහත් වුණේ කවුද කියලා අපි අහනවා. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමෙන් හොරුන්, දූෂිතයන් පමණක් නොවෙයි, අපරාධකරුවන් ආරක්ෂා කරන්නත් ක්‍රියාකර තිබෙනවා. අද රටේ ඉන්නේ තවදුරටත් රැවටෙන්නේ නැති පුරවැසියන්. පරණ පුරුදු ඩීල් දේශපාලනයෙන්, බොරු කියන, රවට්ටන පොරොන්දු දේශපාලනය තුළින් මේ පාලක පැළැන්තියට තවදුරටත් පවතින්න විදිහක් නැහැ. ජනතාවාදී නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වැඩියෙන කැපවෙමු කියලා මම ආරාධනා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *