අධික වර්ෂාව නිසා දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද (17) දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව, අද අලුයම එකෙන් අවසන් වූ ගතවූ පැය විසි හතර තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එය දැක්වුණේ මිලිමීටර 191.5ක් ලෙසයි.

කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර 177ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

ඊට අමතරව ඉංගිරිය – නිමලගල ප්‍රදේශයට මිලිමීටර 165.75ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

මේ අතර, ඊයේ (16) රාත්‍රියේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බවයි.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 55 දක්වා ඉහළ යා හැකියි.

එමෙන්ම වර්ෂාවත් සමඟ ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

තවද, වැසිත් සමඟ රත්නපුර, කළුතර සහ ගාල්ල ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටව ඇති බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පැලවත්ත – මතුගම මාර්ගය, පැලවත්ත – බදුරලිය මාර්ගය, පැලවත්ත – වළල්ලාවිට මාර්ගය මෙලෙස ජලයෙන් යටව ඇති බවයි.

මීට අමතරව බදුරලිය – කලවාන මාර්ගය සහ බදුරලිය – පැණිගල මාර්ගයද ජලයෙන් යටව පවතිනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *