අපි ගොඩක් ඒවාට උත්තර දෙන්නෙ නෑ, අපි හදන්නේ පොහොසත් රටක් ලස්සන ජිවිතයක්

අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, අපේ ආණ්ඩුකරණය පිළිබඳව වැඩිපුරම කථා කරන්නෙ වෙන අය බවත් අපි ගොඩාක් ඒවට පිළිතුරු ලබා නොදෙන්නේ ඒ තුළින් අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය දේවල් සමග ගැටුමකට මැදිහත් වෙන්න යන්නේ නැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (26) ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අනුර කුමාර දිසානායක මෙසේ අදහස් පල කලා “ අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. මේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට නම් අපි බලවේග එකතු කළ යුතුයි. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කර ගනිමින් ඒ අය බලමුළු ගන්වමින් ඉදිරියට ආවා. ඒ විතරක් අපිට ප්‍රමාණවත් නැහැ. අපි ශක්තිමත් මතවාදයක්ද ජනතාව අතරට ගෙන යා යුතුයි. දීර්ඝ කාලයක් මේ රට වැටී තිබෙන අගාධය පිළිබඳව, ඊට හේතු පිළිබඳව සහ ඉන් ගොඩ යන්නේ කෙලෙසද යන්න පිළිබඳව මේ රටේ ජනතාව සමග සාකච්ඡා කළා. ඒ සියල්ල සම්පිණ්ඩනය කරලා අපේ රටට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම තමයි අපේ ඊළඟ අදියර වුණේ. ඒ අදියර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරලා තිබෙන්නේ. අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. ඊට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අප රට ගොඩනැගිය හැකි මාවතද අප සතුව තිබෙනවා. අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් 21 උදාවෙනවා.
පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන, අපි ගැන අපිට වඩා කතාකළේ වෙන අය. අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, අපේ ආණ්ඩුකරණය පිළිබඳව වැඩිපුරම කථා කරන්නෙ වෙන අය. අපි ගොඩාක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය දේවල් සමග ගැටුමකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. නමුත් අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබාදී තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙළ තමයි අපේ භාවිතය. ඔවුන්ට හිමි භාවිතය තමයි, අසත්‍ය, අවලාද, විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීම. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත. මේක තමයි අපි තෝරා ගන්නා මාවත යැයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *