අවුරුදු නෑ ගමන මළගෙයක් වෙයි

දකුණු පළාතේ දිසා විනිසුරුවරයෙකුට උප පොලිස් පරීක්ෂකවරයෙක් සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තාවිය.

පහරදුන් පොලිස් නිලධාරියා දිසා විනිසුරුවරයාගේ මස්සිනා බවට වාර්තාවෙයි.

දිසා විනිසුරුවරයා සුරතලයට ඇතිකරන බළලා පිළිබඳ ඇති වූ ආරවුලක් දුරදිග ගොස් ගැටුම හටගෙන ඇති අතර සිද්ධියෙන් පසු විනිසුරුවරයාගේ බිරිඳ රෝගීව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අලුත් අවුරුදු දා දිසා විනිසුරුවරයා සුරතලයට ඇතිකරන බළලාද රැගෙන සිය බිරිඳ සමග උපපොලිස් පරීක්ෂකවරයෙක් වන ඇයගේ සොහොයුරාගේ නිවසට ගොස් ඇත.

එහිදී නැවත නිවසට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේ සුරතලයට ඇතිකරන බළලා අතුරුදන්වීමත් සමග ඇතිවූ උණුසුම් කතාබහක් අතරතුරදී උප පොලිස් පරීක්ෂකවරයා විසින් දිසා විනිසුරුවරයාට පහරදී ඇති බව පොලීසිය පවසයි.

පසුව විනිසුරුවරයා මේ පිළිබඳ දුරකථන මාර්ගයෙන් අක්මීමන පොලීසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පවසයි.

ඒ් අනුව පොලිස් කණ්ඩායමක් එම නිවසට පැමිණ සිද්ධිය පිළිබඳ ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේදී විනිසුරුවරයාගේ බිරිඳ එනම් පහරදුන් බව කියන පොලිස් නිලධාරියාගේ නැගණිය සිය ළය ප්‍රදේශය රිදෙන බවට පවසා ඇතැයි වාර්තා වෙයි.

නමුත් ඒ් පිළිබඳව වැඩි තැකීමක් නොකළ විනිසුරුවරයා සිය ප්‍රකාශය ලබාදුන් බව පොලීසිය පවසයි.

ප්‍රකාශය ලබාදුන් විනිසුරුවරයා නිවසින් පිටත්ව ගොස් ඇති අතර පොලිසිය විසින් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ අතරතුර විනිසුරුවරයාගේ බිරියගේ අසනීප තත්ත්වය උත්සන්න වී කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඇය මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර ඇති බව පොලීසිය සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *