අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක්

අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදු කළ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් කරන්නට ඇතැයි සැක කරන බවයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ බබා නමැත්තාගේ පියා ජීවිත්කෂයට පත් වුණා.

අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7.00ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු අහුංගල්ලේ බබා නමැත්තාගේ පියා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ අතර, ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් මිය ගියේ අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කීර්ති ආබෲ වන අතර, ඔහු ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ බබා හෙවත් නදීශ ආබෘෘ නමැත්තාගේ පියායි.

වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් එම වෙඩි තැබීමෙන් පසු ඊට ආසන්න තවත් නිවසකට ද වෙඩි තබා තිබුණා.

එම නිවස දැනට ඩුබායි හි සිටින මධුෂාන් ආබෲ නමැති පුද්ගලයෙකුට අයත් බව පොලිසිය පැවසුවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ද ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් අතර කලක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවයි.

කොස්ගොඩ සුජීගේ පාර්ශ්වය සහ අහුංගල්ලේ බබා නියෝජනය කරන රත්ගම විදුරගේ පාර්ශ්වය අතර එම ගැටුම පවතින අතර, මෙම වෙඩි තැබීම ද කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයෙන් කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 21 වැනිදා අහුංගල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් අහුංගල්ලේ බබා නමැති අපරාධකරුගේ සහෝදරියක් සහ ඇගේ මාස 4ක් වයසැති බිළිඳෙකු තුවාල ලැබූ බව පොලිසිය සඳහන් කළා.

එම වෙඩි තැබීමේ චෝදනාව එල්ල වුණේ කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයටයි.

මාර්තු මස පළමු වැනිදා අහුංගල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් කොස්ගොඩ සුජීගේ ඥාතියෙකු වන ජෝතිමුනි නීල් කුසුම් කුමාර නොහොත් – පච්ච මංජු – නමැති පුද්ගලයෙකු මියගිය අතර අහුංගල්ලේ බබා නියෝජනය කරන රත්ගම විදුරගේ පාර්ශ්වයට එම වෙඩි තැබීමේ චෝදනාව එල්ල වුණා.

පොලිසිය සැකකරන්නේ ඊයේ සිදු වූ වෙඩි තැබීම එම අපරාධ රැල්ලේ තවත් එක් අවස්ථාවක් බවටයි.

What's your reaction?

Related Posts

1 of 124

Leave A Reply

Your email address will not be published. Required fields are marked *