ආරක්ෂිත රටක් සුරක්ෂිත දේශයක් ගොඩ නගන බව විපක්ෂනායක කියයි

නිවැරදිව නීතිය ක්‍රියාත්මක යුගයක් ඇති කර ළමා පරපුර ළදරු පරපුර සිසු පරපුර හා කාන්තා පරපුරට මහපාරේ ඕනෑම ආකාරයට යා හැකි ආරක්ෂිත රටක් සුරක්ෂිත දේශයක් හා ජන සමාජයක් ගොඩනගන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (19) දින මීරිගම නගරයේ පැවැති සමගි ජන බලවේගයේ විජයග්‍රහණයේ මහා ජන රැළිය අමතමින්.

අප රටේ ජන සමාජයේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන බවත් නීතිය ප්‍රබලයින්ට බලවතුන්ට සුපිරි පොහොසතුන්ට එක් ආකාරයකටත් සාමාන්‍ය ජනතාවට තවත් ආකාරයකටත් ක්‍රියාත්මක බවත් නිවැරදිව නීතිය ක්‍රියාත්මක යුගයක් ඇති කරන බව විපක්ෂනායකවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම කුඩු වසංගතය පාසල් ක්ෂේත්‍රය ආක්‍රමණය කර ඇති බවත් රජය ක්‍රියාත්මක වන්නේ සංදර්ශනාත්මක ලකුණු දමා ගැනීමේ වැඩසටහනක් බවත් කුඩු ජාවාරම්කාරයෝ රටේ ප්‍රබලයන් සමග සම්බන්ධ බැවින් මේ කුඩු වසංගතය නැති කරන දැඩි නීති පද්ධතියක් ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කලා.

කෙතෙකුත් ප්‍රබල තනතුරු දුන්නත් කුමන යෝජනා දුන්නත් පොදුජන කේන්ද්‍රිය දේශපාලනයෙන් බැහැර වී කටයුතු නොකරන බවත් ප්‍රතිපත්තිගරුකව කැපවෙන බවත් සජිත් ප්‍රේමදාස වන තමා හෝ තමාගේ කණ්ඩායම කිසිදු දිනක වෙන්දේසියට ලක් නොවන බව ඔහු මෙහිදී කියා සිටියා.

එසේම රටක් පාලනය කිරීම යනු රටට සේවය කිරිම බවත් එය මහා භාරධුර කර්තව්‍යයක් බවත් වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩගැනීම සඳහා ක්‍රමෝපායික දත්ත කේන්ද්‍රීය විද්‍යාත්මක ආර්ථික සැලසුමක් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ තුළින් දුක්විදින ජනතාවගේ ප්‍රශ්නවලට ක්‍රමක්‍රමයෙන් විසදුම් ලබා දිය හැකි බව විපක්ෂ නායකවරයා පවසනවා.

රටක් ලෙස මේ තැනට වැටීමට හේතු සොයා බැලිය යුතු බවත් ප්‍රතිලාභ නොලැබෙන සුදු අලි ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඒ නිසා ලබා ගත් ණය මර උගුලේ හිර වූ බවත් 2022 වන විට වාර්ෂිකව බිලියන ගණනාවක් ණය ගෙවීමට සිදුවන බව සැවොම දැන දැනත් 2019 බලයට ආ විගස සුපිරි පොහොසතුන්ට කෝටිපතියන්ට බිලියන 600-700 ප්‍රමාණයක බදු සහන දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8%ට අඩු කළ බවත් විපක්ෂනායකවරයා මෙහිදී අනාවරණ කර සිටියා.

එමෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ පවා ජනතාවට සහන දුන් බවත් එදවස රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 22%ක ආසන්න බවත් එවක ජනතාවට සහන දෙන්න ප්‍රතිලාභ තිබුණත් අද වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 10-11% ප්‍රමාණයට වැටී ඇති බවත් මෙහි දී ක්‍රමානුකූලව ආර්ථිකය හසුරවන විට එයට ජීවන දෙන කොටස්වලට ප්‍රාණය දී අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට යොමු වී සෘජු විදේශ ආයෝජන ලබා ගැනීමේ ආයෝජන හිතකර පරිසරයක් ගොඩනැගිය යුතු බව ඔහු පවසා සිටියා.

තවද ආයෝජකයෝ අප රටට එන්නේ දූෂණය, වංචාව, මුසාව, මුලාව නොමැති වී නිශ්චිත ආර්ථික පරිසරයක් තිබුණ හොත් පමණක් බවත් මේ නිශ්චිත ආර්ථික පරිසරය තුළ වෙනත් රටවලට ආයෝජකයෝ යනවා වෙනුවට අප රටට ඒමට පරිසරය සකස් කළ යුතු බවත් මේ හරහා තරුණයන්ට ද රැකී රක්ෂා ලබා දිය හැකි බවත් ආයෝජකයෝ අප රටට ගෙන්වා ගැනීමට ලොකු තරගයක නිරත වීම අත්‍යවශ්‍ය නිසා ආයෝජන හිතකර පරිසරයක් ඇති කර සෘජු විදේශ ආයෝජන මෙරටට ආකර්ෂණය කරන ආයෝජන හිතකර පරිසරයක් ගොඩනගන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *