පසුගිය ජුනි මාසයේදී ඉන්දියාවේ අහමදාබාද්හි පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් වලට ඉන්ධන සැපයුමේ අක්‍රමිකතාවයක් බව මූලික විමර්ශනයකින් හෙළි වී තිබේ.
ලන්ඩනය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානය අහමදාබාද් ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ මොහොතේම වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩා වැටුණි.
යානයේ සිටි එක් මගියෙකු හැර අනෙක් සියල්ලන්ම මිය ගියහ.
ඉන්දියානු ගුවන් අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවට අනුව, යානයේ ඉන්ධන පාලන ස්විචයේ අනපේක්ෂිත චලනයක් හේතුවෙන් එන්ජින්වලට ඉන්ධන සැපයීම වළක්වා ඇත.
ගුවන් යානයේ ‘කළු පෙට්ටියේ’ සටහන් කර ඇති දත්ත මත පදනම්ව මෙම තොරතුරු අනාවරණය විය, එයට පැය 49 ක පියාසැරි දත්ත සහ පැය දෙකක කොක්පිට් හඬ ඇතුළත් වේ.
අදාළ විමර්ශන වාර්තාවට අනුව, එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විච ‘තත්පර 1 ක පරතරයකින් එකින් එක RUN සිට CUTOFF වෙත මාරු කරන ලද’ විට යානය ගැට 180 ක ගුවන් වේගයක් ලබා ගත්තේය.
පටිගත කිරීමේ දත්ත වලට අනුව, එක් නියමුවෙකු අනෙකාගෙන් විමසුවේ ඔහු ‘RUN සිට CUTOFF දක්වා’ මාරු කළේ මන්ද යන්නයි.
කෙසේ වෙතත්, අනෙක් නියමුවා පිළිතුරු දුන්නේ තමා එසේ නොකළ බවයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ ස්විචය එහි මුල් ස්ථානයට ආපසු ගෙන යන අතරතුර අනතුර සිදුවිය.
මෙම පාලන ස්විචය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක නොවන අතර, එය නියමුවන් විසින් සිදු කරනු ලබන කාර්යයකි.
ගුවන් සේවා විශ්ලේෂකයින් පවසන්නේ ඉන්ධන ස්විචය මේ ආකාරයෙන් ක්‍රියා විරහිත වීම ‘අතිශය දුර්ලභ’ බවයි.