“උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා”

තමා බලයට පත් වූ පසු උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (15)කිලිනොච්චියේ පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 57 වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර බල ප්‍රදේශ දෙක විශිෂ්ට සංවර්ධනයක් කරා ගෙන යන බවත් මේ හරහා රටේම පළාත් 9ම සංවර්ධනය කරන්න කටයුතු කරන බවය.

උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජිවිත සුඛිත මුදිත කර සංවර්ධනය උදා කරන්න වෙනත් කිසිදු නායකයකු නොකළ දෙයක් කරන බව ඔහු අනාවරණ කර සිටියා.

එසේම උතුරු නැගෙනහිර ජනතාව හමුවෙන්න පස් වතාවක් අගමැති වූ වත්මන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පැමිණියත් ඔහුට උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න පුළුවන් වුවත් එවැනි හැකියාවක් ඔහුට නොමැති නිසා එවැනි දෙයක් නොකළ බව විපක්ෂනායකවරයා මෙහිදී කියා සිටියා.

එමෙන්ම සියලුම පාසල් සුහුරු පාසල් බවට පත් කර තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව නව තාක්ෂණය මෙන්ම ඉංග්‍රීසි භාෂා හැදැරීමේ අවස්ථාව ඇතුළු නව අධ්‍යාපන ක්‍රමයක් හරහා හොඳ අනාගතයක් උදා කරන බවත් සෑම රෝහලක්ම සුහුරු රෝහලක් බවට පත් කර පහසුකම්වලින් ඉහළ රෝහල් පද්ධතියක් බවට පත් කරන බව ඔහු පවසා සිටියා.

විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කරන බවත් වැඩිහිටි අයගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට ලබා දුන් 15%ක ඉතිරි කිරීමේ පොළිය නැවත ලබා දෙන බවත් නැවත වරක් නිවාස ව්‍යාපෘති ආරම්භ කරන බවත් ගෝඨාභය රාජපක්ෂ නතර කළ නිවාස ව්‍යාපෘති රනිල් වික්‍රමසිංහත් නතර කළත් තමා බලයට පත් වූ විගස උදා ගම්මාන ව්‍යාපෘති අවසන් කර ජනතා අයිතියට පත් කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

එසේම ගොවියන් වෙනුවෙන් කිලෝ 50 පොහොර මිටිය රු. 5000ට ලබා දෙන බවත් ධීවර ප්‍රජාව වෙනුවෙන් ඉන්දන සහනාධාරය ලබා දෙන බවත් සැබවින්ම ධීවරයන්ට, ගොවියන්ට සහ ත්‍රීරෝද රථ හිමියන්ට මෙම සහනාධාරය ලබා දෙන බවත් ලොකු ලොකු පොහොසතුන්ට මෙම සහනාධාරය අවශ්‍ය නොවන බවත් එය වැදගත් වන්නේ ධීවරයන්ට ගොවියන්ට සහ ත්‍රීරෝද රථ රැකියාවේ නිරතවන අයට බව ඔහු සඳහන් කර සිටියා.

තරුණ ප්‍රජාව වෙනුවෙන් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරන බවත් ඒ හරහා තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, ව්‍යවසායකත්වය ආදිය ජාත්‍යන්තර තලයේ මට්ටමට ඉගැන්වීම සිදු කරන බවත් රැකියා නොමැති තරුණ පරපුරට රැකියා ලබා දීම සිදු කරන බවත් විපක්ෂනායකවරයා මෙහි දී කියා සිටියා.

දුගී දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් මාස 24ක වැඩසටහනක් ක්‍රියාත්මක බවත් ආයෝජනය, නිෂ්පාදනය, පරිභෝජනය, ඉතිරිකිරීම, හා අපනයනය යන වැඩසටහන් යටතේ මාසෙට රු. 20000 බැගින් ලබා දී දුප්පත්කම තුරන් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *