ඔන්ලයින් හරහා නීතිවිරෝධී ගනුදෙනු කළ ගිණුම් 46ක රුපියල් කෝටි 5000ක්

අන්තර්ජාලය ඔස්සේ මෙරටදී නීතිවිරෝධීව මුල්‍ය ගණුදෙනු කළ ගිණුම් 46ක රුපියල් කෝටි 5000ක් ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පස් දෙනා ඇතුලු‍ විදේශිකයන් 35 දෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතර, චීනය, පාකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, ඇල්ජීරියාව සහ නේපාලය යන රටවල තරුණ තරුණියන් ද සිටිනවා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, පසුගිය මස 22 දා පමණක් පෙරවරු 10.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළදී මෙම කණ්ඩායම රුපියල් ලක්ෂ 880ක් ඉක්මවා උපයා ඇති බවයි.

මෙහි පළමු සැකකරු වන ප්‍රවීන් බණ්ඩාර නැමැත්තා මහ මහමොළකරු වශයෙන් කටයුතු කර ඇති අතර ඔහු ඩුබායිහි මේ සඳහා මනා පුහුණුව ලබා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා.

මෙම ජාවාරම සිදු කිරීම සඳහා මීගමුව – ඒත්තුකාල ප්‍රදේශයේ කාමර 30කින් යුත් හෝටලයක් සම්පුර්ණයෙන් වෙන් කරගෙන ඇති අතර ඒ සඳහා මාසිකව රුපියල් ලක්ෂ 80ක් ⁣ගෙවා ඇති බව සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී භාරයට ගත් මෙරට මුදල් රුපියල් ලක්ෂ 22ක් අධිකරණයේ තැන්පත් කළ බවත්, විදේශීය මුදල් මහ බැංකුවේ තැන්පත් කිරිමට කටයුතු කළ බවත් ප්‍රකාශ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සම්පුර්ණයෙන්ම අත්අඩංගුවට ගත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක මුදලක් ඒ අනුව රජය භාරයේ තබා ඇති බව කියා සිටියා.

ඉදිරියේ දී පරික්ෂණ සඳහා සිංගප්පූරු සහ චීන ජාතික කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත බැවින් සැකකරුවන්ට ඇප ලබා නොදෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් නීතිඥයින් 40ක් පමණ පෙනී සිට තිබෙනවා.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලු‍ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි.

එමෙන්ම සැකකරුවන් 4 දෙනෙකුට ඇප නියම කළ අතර අනෙක් සැකකරුවන් 36 දෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *