කැලණි සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නන්ගර නේවාසිකාගාරය තුළ සිසුවෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ආචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

එහි උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා කියා සිටියේ අදාළ සිසුවා කඩිනමින් රෝහල්ගත කිරීමට නේවාසිකාරයේ පරිපාලන නිලධාරියා කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළ බවට සිසුන් එල්ල කරන චෝදනා සළකා බලා මෙම කමිටුව පත් කළ බවයි.

අද අලු‍යම මෙලෙස මිය ගොස් තිබුණේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන නිරෝෂන ලක්මාල් යන සිසුවායි.

ඊයේ රාත්‍රී 10ට පමණ මොහුට අපස්මාර රෝගී තත්ත්වය හට ගෙන ඇති අතර ඔහුව රෝහලට රැගෙන යාමට නේවාසිකාගාරයේ පරිපාලන නිලධාරියා ඇමතුවද ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි මියගිය සිසුවාගේ මිතුරන් ප්‍රකාශ කළේ.

පසුව වෙනත් සිසුවෙකුගේ රථයකින් සිසුවාව කිරිබත්ගොඩ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර අතරමගදී එම රථයෙන් ඔහුව විශ්ව විද්‍යාලය පරිපාලන අංශයෙන් යොමු කළ වෑන් රථයක් වෙත මාරු කර තිබෙනවා.

එහෙත් රෝහලට රැගෙන යන විටත් අදාළ සිසුවා මිය ගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මෙම සිද්ධිය මුල් කර ගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද පෙරවරුවේ විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ විරෝධතාවක් ආරම්භ කළා.

පසුව අදාළ විරෝධතාව අත්හිටුවීමට සිසුන් පියවර ගනු ලැබුවේ උපකුලපතිනිය සමග පැවති සාකච්ඡාවේදී සිද්ධිය පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදු කරන බවට ඇය ලබා දුන් පොරොන්දුවකට අනුවයි.

කෙසේ වෙතත් සිසුවාගේ මව සහ පියා චෝදනා කළේ තම දරුවාගේ මිය යාම සැක සහිත බවයි.

මේ අතර මිය ගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් අද පසුවරුවේ සිදු කිරීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *