කෙදිනකවත් පාර්ලිමේන්තු නොගිය පක්ෂ නායක මියයයි.

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 81 වන වියේ පසුවුණා.

1943 මාර්තු 8 වන දින ලුණුගල දී උපන් ඔහු මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඉන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්වීතීය අධ්‍යාපනය ලැබීය. පසුව ලංකා විශ්වවිද්‍යාලය ලෙස හැඳින්වූ වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත් හෙතෙම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබූ ඔහු 1970 දී ආචාර්ය උපාධියක් ලබා ගත්තා. ඉන් අනතුරුව ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කළා.

සිය ජීවිතයේ මුල් අවදියේදීම දේශපාලනිකව ක්‍රියාකාරී වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා 1962 දී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ලෙස සිටියදී ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) සම්බන්ධව කටයුතු කළා. 1972 දී සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත් වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ 1972 ජනරජ ව්‍යවස්ථාවට සහය දැක්වීම සම්බන්ධයෙන් සමසමාජ පක්ෂයේ නායකත්වය සමඟ එකඟ නොවී ඉන් ඉවත් වුණා.

1977 දී වික්‍රමබාහු කරුණාරත්න මහතා තමන් සමඟ සමසමාජ පක්ෂයෙන් ඉවත් වූ වාසුදේව නානායකකාර මහතා සමඟ එක්ව නව සමසමාජ පක්ෂය පිහිටුවා ගත්තා.

1978 දී එවකට ජනාධිපතිවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මහනුවර සංචාරයට විරෝධය පාමින් කළු කොඩි දැමූ බව පවසමින් මහනුවර දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මාස කිහිපයක රැඳවුම් භාරයෙන් පසු චෝදනාවකින් තොරව ඔහු නිදහස් කරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන පාලනය යටතේ ඔහුගේ විශ්වවිද්‍යාල සේවය අත්හිටුවමින්. ඉන් අනතුරුව 1978 ජේ.ආර්. ජයවර්ධන පාලනයේ අමාත්‍යවරයෙකුව සිටි රනිල් වික්‍රමසිංහ අගමැති ධුරය දරමින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දී යලිත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සේවයේ පිහිටුවා තිබුණා.

සිය හිඟ වැටුප් ලබාගත් ආචාර්ය වික්‍රමබාහු කරුනාරතන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

1983 ජේ.ආර්. ජයවර්ධන පාලනය විසින් ඇති කළ මෙරට දෙමළ ජනයාට එරෙහි මර්දනය දියත් කළ කළු ජූලියට සම්බන්ධ බව කියමින් නව සමසමාජ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තහනම් කිරීම හේතුවෙන් ආචාරය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු කණ්ඩායමක් තමන් අත්අඩංගුවට ගැනීමෙන් මිදීමට කලක් සැඟව සිටියා.

1987 දී නැවත සමසමාජ පක්ෂ. ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමඟ එක්ව එක්සත් සමාජවාදී සන්ධානය පිහිටුවීමට ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කටයුතු කළා. එම කණ්ඩායම ජේ.ආර්. ජයවර්ධන පාලනය යටතේ අත්සන් තැබූ ඉන්දු – ලංකා ගිවිසුමට සහය දෙමින් කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහුට මෙරට දේශපාලන ප්‍රවාහය හරහා පාර්ලිමේන්තු මංත්‍රීධූරයකට පත්වීමට නොහැකි විය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ අවසන් කටයුතු සිදුකිරීම ඉදිරියේදී දැනුම්දෙන බව ඔහුගේ පක්ෂය සඳහන් කර සිටී.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *