කොරියන් රැකියා මගඩිය

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ පොහොට්ටුවේ දේශපාලනඥයෙකු තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර ඇත. ඒ සඳහා කොළඹ මාකොල ප්‍රදේශයේ පැවැති දින හයක පුහුණුවට තරුණයින් හැට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවාගෙන ඇති අතර එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් අය කරගෙන ඇති බව ඊට සම්බන්ධ තරුණයින් සඳහන් කළෝය. විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට රැකියා පනහක් ලැබෙන අතර වතුකරයේ තරුණයින් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දලු කැඩීමට බාධා වන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයින්ට පවසා ඇත.

ඉල්ලීම පරිදි පුහුණුවට ගිය සෑම තරුණයෙකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි අදාළ දේශපාලනඥයාට භාර දී මාස දෙකක් ගත වී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම් වූ මුදල්වලටද අවිනිශ්චි තත්ත්වයක් ඇති වී ඇතැයි තරුණයින් සඳහන් කළේය. පුහුණුව සතියකට එක් දිනක් පැවති අතර පුහුණුවට යන සෑම දිනකටම බස් රථයට රුපියල් 1500කුත් ආහාර පාන සහ වෙනත් වියදම් සමඟ මේ වන විට එක් තරුණයකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක්ද වියදම් වී ඇති බවද ඔවුන් පවසා සිටියේය.

මේ පිළිබඳව වීරවිල පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා පිටත්වීමට පසුගිය දින කීපය තුළ පොලිස් වාර්තා හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ඉල්ලා ඇති බවය. වාර්තා ඉල්ලා පැමිණෙන සෑම තරුණයකුම අවිනිශ්චිත තත්ත්වයෙන් පසුවන බවද පොලිසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කොරියානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා කිසිසේත්ම අවස්ථාවක් ලබා නොදෙන බවය.

රජය මඟින් හෝ එවැනි තීරණයක් ගෙන ඇද්ද යන්න විමසීම සඳහා විදේශ සේවා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ධනංජය ජයසුන්දරගෙන් කළ විමසීමකදී සඳහන් කළේ කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රජයේ රැකියා සඳහා මාස අටකට පුහුණු ශ්‍රමිකයින් යැවීමට කොරියානු රජය සමඟ සාකච්ඡාවක් පැවතියද මේ වනතෙක් කොරියානු රජයෙන් ඊට කැමැත්තක් දක්වා නොමැති බවය. එමෙන්ම ඒ සඳහා ශ්‍රමිකයින් පුහුණු කිරීමට හෝ තොරතුරු රැස් කිරීමට දේශපාලනඥයෙකුට හෝ කිසිදු නිලධාරියෙක්ට දැනුම්දීමක් කර නොමැති බවද ධනංජය මහතා පැවසීය. යම් දේශපාලනඥයෙකු තරුණයින් නොමඟ යවා ඇද්ද යන්න පිළිබඳව අදාළ අංශ දැනුම්වත් කිරීමට කටයුතු කරන බවද ධනංජය ජයසුන්දර සඳහන් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *