ගුවන් නියමුවාගේ කේන්තියෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන “එයාර්ලයින් රේටින්ග්ස්” පියවර ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් යානයක කපිතාන්වරයෙකු සිය සහායක ගුවන් නියමුවරියට නියමු කුටියට පැමිණීමට ඉඩ නොදීමේ සිද්ධිය මුල් කරගනිමින්.

මේ අනුව මෙතෙක් තරු හතක පැවැති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හය දක්වා පහත හෙළා තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩිනි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ බලා පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 607 අංකය දරන ගුවන් යානයේ ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙන් ගෙවුණු දින කිහිපයේ බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබුණා.

ඒ එම ගුවන් යානයේ සේවය කළ කපිතාන්වරයා සහ සහායක ගුවන් නියමුවරිය අතර හටගත් මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන්.

ගුවන් යානය පියාසර කරමින් තිබියදී එහි සහායක ගුවන් නියමුවරිය වැසිකිළිය වෙත ගොස් ඇති අතර ඇය වැසිකිළියේ සිට ආපසු පැමිණි පසු කපිතාන්වරයා විසින් නියමු කුටියේ දොර විවෘත නොකිරීම මෙම ගැටලුකාරි තත්ත්වයට මුල් වී තිබුණා.

ගුවන් නියමුවරිය වැසිකිළියට ඇතුළු වීමෙන් පසු කපිතාන්වරයා විසින් දොර වසා දමා ඇති බවටද විවිධ වාර්තා පළ වුණා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ මෙම සිද්ධිය ගැන විමර්ශනයක් ඇරඹූ බවයි.

අදාළ ගුවන් නියමුවරිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන්සේවා ආරක්ෂක අංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවා මානව සම්පත් කළමනාකරන අංශයට ද පැමිණිලි කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුණු අතර කපිතාන්වරයාගේ වැඩ තාවකාලිකව අත්හිටුවා තිබුණේ ඒ අනුවයි.

එම විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක පසුබිමක සිද්ධියට සම්බන්ධ කපිතාන් වජිර වනසිංහ එම තනතුරින්ද ඉල්ලා අස් වී තිබෙනවා.

ගුවන් යානාවල තාක්ෂණික දෝෂ හා ප්‍රමාද වීම් නිසා පසුගිය සමයේ අපකීර්තියට ලක්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත සිය ප්‍රතිරූපයට හානි සිදුකරගෙන තිබෙන්නේ මෙම සිදුවීම හේතුවෙන්.

ඒ සමග ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීමද පහත හෙළීමට ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන AirlineRatings.com පියවර ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතෙක් දැරූ තරු 07 ශ්‍රේණිය තරු 06 දක්වා පහත හෙළා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් AirlineRatings.com පවසන්නේ අදාළ සිදුවීම අතිශය බරපතල සිදුවීමක් වන බවයි.

What's your reaction?

Related Posts

1 of 476

Leave A Reply

Your email address will not be published. Required fields are marked *