“ජනතාවට ජනාධිපතිවරයාට සම්බන්ධවීමට ඒකකයක් ඇති කරනවා”

ජනතාවට ජනාධිපතිවරයාට සම්බන්ධ වීමට වෙනමම ඒකකයක් ඇති කරන බවත් ජනාධිපතිවරයාත් ජනතාවත් අතර විධිමත් සම්බන්ධතාවක් ඇති කර ගෙන නගර හා ගම් හදා ගම් උදා කරන නගර උදා කරන වැඩපිළිවෙළකට යොමු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තමා බලයට පත් වූ පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් පක්ෂ මෙන්ම පක්ෂයක් නොමැති කණ්ඩායම්වල අයට ද මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු ජනතාව රැක ගන්නා බව ඔහු පවසා සිටියා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 65 වැනි විජයග්‍රාහී ජන රැළිය ඊයේ (16) හෙට්ටිපොළදී පැවැති අවස්ථාවට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන හරහා සෑම දුප්පත් පවුලකටම මාස 24න් දුප්පත්කමින් ගොඩ ඒමට මසකට රු. 20000 බැගින් ලබා දී ආයෝජනය, නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරිම හා අපනයන යන වැඩසටහන් හරහා දුප්පත්කම තුරන් කරන බවත් සදාකාලික දුප්පත්භාවයේ සිටින්න කවුරුත් කැමති නැති නිසා දුප්පත්කම තුරන් කරන බවය.

තමන්ගේම කියා ඉඩමක් නිවසක් නැති ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය හා ඉඩම් අයිතිය ලබා දෙන ගම් උදා සංකල්පය නැවත ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියා.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජාත්‍යන්තර තලයේ උසස් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කර තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි හා විදේශ භාෂා ක්ෂේත්‍ර තුළින් තරුණයන් දැනුමින් සන්නද්ධ කරන බව ඔහු අවධාරණයෙන් කියා සිටියා.

කිලෝ 50 පොහොර මිටිය රු. 5000ට සමගි ජන බලවේගය ලබා දෙන බව ඔහු පවසා සිටි අතර ලොකු ලූණු ගොවියා රකින බවත් රනිල් වික්‍රමසිංහ කරන්නේ ලංකාවේ ලූණු, බඩඉරිගු, අර්තාපල් නෙලන විට ඒවා විදේශයෙන් ගෙන්වීමට කටයුතු කරන බවත් ගොවියාත් රකින පාරිභෝගිකයාත් රකින මේ පාර්ශ්ව දෙකම ආරක්ෂා වෙන වැඩපිළිවෙලකට සමගි ජන බලවේගය යොමුවන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

එමෙන්ම ගොවියන්ට සහන මිලට පොහොර දෙන විට ගොවියාට ධීවරයාට ත්‍රීරෝද හිමියන්ට පාසල් බස් රථ හිමියන්ට ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරය ලබා දෙන බවත් මේ ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ කෝටිපතියන්ට නොව වැඩ කරන ජනතාවට බවත් කෝටි ප්‍රකෝටිපතියන්ට සහන ලබා දෙන්න අවශ්‍ය නොවන බව විපක්ෂ නායකවරයා අනාවරණ කර සිටියා.

මෙරට පරිපාලන දිස්ත්‍රික් 25 කේන්ද්‍ර කර ගෙන ජනාධිපති සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කරන බවත් ඒ තුළින් සියලු‍ පරිපාලන දිස්ත්‍රික්වල සංවර්ධන කටයුතු සෘජුව අධීක්ෂණය කරන බව ඔහු අවධාරණයෙන් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *