ජනපතිට සහය දීම ගැන සාකච්ඡාවකදී බැසිල්ට තරහ යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට රාජපක්ෂ පාර්ශ්වය එක්කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ පාර්ශ්වය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක පාර්ශ්වය දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත සහය ලබා දීම සම්බන්ධයෙන් සෘජුවම දැඩි විරෝධයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහින්දානන්ද අලු‍ත්ගමගේ, වජිර අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

ජනාධිපතිවරයා සමග සිටින පාර්ශ්ව එකට එක්වී ජනාධිපතිවරයාට සහය දෙන්නේද නැතිනම් තනි තනිව සහය දෙන්නේද යන ගැටළුව මෙහිදී මතුව තිබුණා.

මෙම සාකච්ඡාව සඳහා නිමල් ලන්සා පාර්ශ්වය සහභාගී නොවූ අතර ඔවුන් සහ දුමින්ද දිසානායකගේ පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ රාජපක්ෂවරුන් ඡන්ද ව්‍යාපාරයට එක්කර ගැනීමට විරුද්ධ බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සහය දුන් අයුරින් පිටත සිට සහය ලබා දීම තම පාර්ශ්වයට ප්‍රශ්නයක් නොවන බව සාකච්ඡාවේදී ඊට එක්වූ පාර්ශ්ව බැසිල් රාජපක්ෂට පෙන්වා දී තිබෙනවා.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැඩි කෝපයෙන් අදහස් දක්වා තිබෙනවා. පසුව ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඒ පිළිබදව සාකච්ඡා කර අදාල තීරණය දැනුම් දෙන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *