තණමල්විල පාසල් දැරිය අපයෝජනයට, සිසුන් 18 දෙනෙකු සහ මවක් අත්අඩංගුවට

තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුවියක් වසරක් තිස්සේ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව පාසල් සිසුන් 18 දෙනෙකු සහ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් සිසුන්ගෙන් 3න් දෙනෙකු සහ අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඉතිරි පිරිස පරිවාස භාරයට යොමු කිරීමටයි වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ.

එමෙන්ම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත තවත් සිසුන් කිහිප දෙනෙකු සහ දැරිය ඉගෙනුම ලබන පාසලේ, ගුරුවරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය සදහන් කළා.

තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි මෙම සිසුවිය 2023 වසරේ සිට අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව තිබෙනවා. මෙම සිසුවිය තවත් පාසල් සිසුවෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුවා ඇයව මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් ප්‍රථමයෙන් අපයෝජනයට ලක් කර ඇති බව සදහන්.

එම අවස්ථාවේ අදාළ සිසුවා ඇයගේ නිරුවත වීඩියෝ ගත කර ඇති අතර අනතුරුව එය සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලෙස පවසමින් තවත් සිසුන් කිහිපදෙනෙකු ඇයව අපයෝජනයට ලක් කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ, එක් අවස්ථාවකදී සිසුන් විසින් බලහත්කාරයෙන් මත්පැන් පෙවීමට සලස්වා සිසුවිය අපයෝජනයට ලක් කර ඇති බවයි.

පසුව එයද වීඩියෝ ගත කර ඇති අතර එම විඩියෝවද සමාජ මාධ්‍යට මුදාහරින බවට පවසමින් සිසුවිය බිය ගන්වා, තවත් අවස්ථා කිහිපයකදී ඇයව අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව අපයෝජනයට ලක් කළ සිසුන් 18 දෙනෙකු ඇතු`ඵව කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම කාන්තාව, සිසුවිය අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සිසුවෙකුගේ මවක් බවයි, පොලිසිය සදහන් කළේ.

අපයෝජනයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමට පවා උත්සාහ කළ බවයි ඇගේ මව චෝදනා කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *