පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර අර්බුද උග්‍ර වෙයි

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර උත්ගත වී ඇති අර්බුදය තවදුරටත් තීව්‍ර වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එවන් පසුබිමක් මත පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ක්වාජා අසීෆ් ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉකුත් දා Voice of America සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර භාණ්ඩ ප්‍රවාහයට පහසුකම් සපයන වෙළඳ කොරිඩෝව අවහිර කිරීමට හැකියාව ඇති බවයි.

ඇෆ්ගනිස්තානය දිගින් දිගටම පකිස්තානයේ අවශ්‍යතා නොසලකා හරින්නේ නම් සහ ටෙහ්රික්-ඊ තලිබාන් කණ්ඩායම පාලනය කිරීමට අපොහොසත් වුවහොත් සිය භූමිය හරහා ප්‍රවේශ පහසුකම් ලබා දීම නැවත සලකා බලන බවයි පකිස්තාන ආරක්ෂක අමාත්‍ය අසීෆ් අවධාරණය කර ඇත්තේ.

මෑත කාලිනව දෙපාර්ශවය අතර උත්සන්න වූ ගුවන් ප්‍රහාර ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර අර්බුධයක් ගොඩ නැගීමට හේතු වී තිබෙනවා.

දේශසීමාව ආසන්නයේ රැඳී සිට ප්‍රහාර එල්ල කරන TTP සන්නද්ධ කණ්ඩායමේ ඉලක්ක වෙත එලෙස ප්‍රහාර එල්ල කරන බවයි පකිස්තානය පවසන්නේ.

එහෙත් එම ප්‍රහාර හමුවේ තලේබාන් සංවිධානය පකිස්තානයට පෙරළා ප්‍රහාර එල්ල කළා.

මෙම ආතතිමය තත්ත්වය හේතුවෙන් දෙරට අතර පවතින පැරණි දේශසීමා කිහිපයක්ම වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පැවසුවා.

ඒ හමුවේ දෙරටේ ද්විපාර්ශවීය සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ල කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ගනුදෙනු කටයුතු අඛණ්ඩව සිදු වෙමින් තිබෙනවා.

ඉකුත් අසීරු කාලසීමාවේදී ඇෆ්ගන් වැසියන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් භාණ්ඩ තොග වශයෙන් ඉන්දියාව විසින් යොමු කරනු ලැබූ බව ද සඳහන්.

එමෙන්ම ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර පවතින වෙළඳ කොරිඩෝව ඇෆ්ගනිස්තානය සඳහා සැලකිය යුතු ආර්ථික වැදගත්කමක් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ලෝක බැංකු දත්ත වලට අනුව ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සමඟ සිදු කරන වෙළඳ ගනුදෙනු ඉකුත් වසර කිහිපයේදීම ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම අගය පෙර වසරේදී ලගා වී තිබුණේ අමෙරිකානු ඩොලර් මිලියන 570 ක අගයකටයි.

එය පකිස්තානයට සාපේක්ෂව සැලකිය යුතු වැඩිවීමක් බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් ඉන්දියාව සමග පවතින සබඳතා සඳහා බාධා එල්ල කිරීමේ අරමුණින් පකිස්තානය සැපයුම් කොරිඩෝව අවහිර කළ හොත් එය ඇෆ්ගන් වැසියන්ට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *