පාර්ලිමේන්තුව අගෝස්තු 6 සිට 9 දක්වා රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඒ බව ඊයේ (02) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී තිබෙනවා.

මේ අනුව අගෝස්තු 6 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ‍විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වීය.

අගෝස්තු 7 වැනි බදාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව ‘වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිතයි.

අගෝස්තු 8 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් සඳහා දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරිණ.

අගෝස්තු 9 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන්ව ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කිරීමට ද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *