පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර පහයි; වින්දිතයන්ට ගෙවිය යුතු වන්දිවලින් 88.5%ක් තවම ගෙවා නැහැ!

පාස්කු ප්‍රහාරයෙන් සිදුවූ ව්‍යසනයට යුක්තිය සොයන සමාජ හා සාමයික කේන්ද්‍රයේ පරීක්ෂණ කණ්ඩායම විසින් ගෙවුණු වසර 5 තුළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාත්මක වූ නඩු වාර්තා අධ්‍යයන කර සකස් කළ වාර්තාවක් එළිදැක්වූවා.

එම වාර්තාව නම් කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය නැතිව පස් වසරක් යන මැයෙන්.

එහිදී අනාවරණය වූයේ රජයට ගෙවීමට නියමිතව තිබූ මිලියනක වන්දිය ගෙවා ඇති නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගෙවීමට නියමිතව තිබූ මිලියන පනහක මුදලින් ඔහු ගෙවා ඇත්තේ මිලියන පහක් පමණක් වන බවයි.

ඒ අනුව ඔහුට තව මිලියන හතළිස් පහක් ගෙවීමට ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මිලියන 75ක වන්දියක් ගෙවීමට නියෝග කළද ඔහු මේ වන විට ගෙවා ඇත්තේ ඉන් ලක්ෂ එකසිය හැත්ත දෙකක ප්‍රමාණයක් පමණක් වන බවද සඳහන්.

එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට මිලියන සීයක් ගෙවීමට නියෝග කර තිබුණද ඔහු ගෙවා ඇත්තේ මිලියන පහළොවක් පමණක් වන බවයි.

හිටපු බුද්ධි අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධනට වන්දිය සඳහා මිලියන 75ක මුදලක් ගෙවීමට නියමිතව තිබුණද ඔහු මේ වන විට ගෙවා ඇත්තේ මිලියන 4.1ක් බවත් එම වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ අනුව මිලියන 70.9ක් ඔහුට ගෙවීමට ඉතිරිව තිබෙනවා.

කෙසේ වෙතත් සම්පූර්ණ වශයෙන්ම මෙම පුද්ගලයින් සියල්ලන්ම මිලියන 311ක ප්‍රමාණයක් ගෙවිය යුතු වුවද ඉන් ගෙවා ඇත්තේ 11.84%ක ප්‍රමාණක් වන බවයි මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සුරේන් පෙරේරා පැවසුවේ.

ඒ අනුව 88.5ක ප්‍රමාණයක්ම මේ වන විට ගෙවා නොමැති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *