පාස්කු ප්‍රහාරය පිළිබඳ සැඟවූ වාර්තා ප්‍රසිද්ධ කරන්න

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක් ලැබුණු බවත් හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකළ එම වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ වගකීමක් බවත් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ බව සදහන් කර සිටියේ අද දින (2024.10.07) පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නයකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනපති කටුවාපිටියේ ගියේ හිස් අතින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ සැඟවූ වාර්තා ප්‍රසිද්ධ කරන්න

ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා. නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා. අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා. ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අබිරහස් හේතුවකට කාව හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා. මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුනත් එකක්වත් ප්‍රසිද්ධ කලේ නෑ.

ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්න වලට වැනෙන්නේ නැතිව කෙලින් පිලිතුරු දෙන්න තිබුණා. මේ වාර්තා දෙක සොයා ගන්න බැරි නම් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්තයාට කතා කරලා කොහෙද තිබ්බේ කියලා අහන්න. ඒත් හොයා ගන්න බැරි නම් නීතිපතිතුමාට කතා කරන්න. පිවිතුරු බුද්ධි අංශ වාර්තා අනුව හිටපු ජනාධිපති ලේකම් මේ වාර්තා දෙකේම පිටපත් නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා.

රනිල් ගිහින් – රනිල් ඇවිත්

ජනාධිපතිතුමා බලයට ඇවිත් දැන් සති දෙකකටත් වැඩියි. ඒත් කටුවාපිටියේ යනකොටවත් මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න මතක් වුණේ නෑ. මහජන මුදලින් හදපු මේ වාර්තාවල අන්තර්ගතය ගැන දැන ගන්න පාස්කු වින්දිතයින්ට විතරක් නොවේ සමස්ත ජාතියටම අයිතියක් තිබෙනවා. හිටපු ජනාධිපති මේ වාර්තා සැඟෙව්වේ එතුමාගේ හිතවතුන් බේරා ගන්න කියලා අපි හිතමු. වර්තමාන ජනාධිපතිත් මේ වාර්තා සඟවන්නේ ඇයි? හිටපු ජනපතිතුමන්ට රැකගන්න අවශ්‍ය පිරිසම වර්තමාන ජනපතිතුමන්ටත් රැකගන්න අවශ්‍යද? නැති නම් මේ ආණ්ඩුව පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ද? “රනිල් ගිහින් රනිල් ඇවිත්” කියලා කොළඹ සමාජයේ තිබෙන කසුකුසුව ඇත්තක් නිසා ද?

ජනපතිතුමනි, තෙල් මිල සංශෝධනයට අත් දෙකින්ම අත්සන් කරමුද?

ජනාධිපතිතුමාත් වෙන්ඩ මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්ති මැතිතුමාත් විපක්ෂයේ ඉන්න කාලයේ නිරතුරුව කිව්ව දෙයක් තමයි අසාධාරණ ලෙස බදු ගහලා නැතිනම් පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 150ට විකුණන්න පුළුවන් කියලා. ඛනිජතෙල් පනත අනුව බලශක්ති ඇමතිවරයා මුදල් ඇමතිවරයාගේ එකඟතාවය අරගෙන තමයි පෙට්‍රල් ඩීසල් මිල තීරණය කළ යුත්තේ. අපි බලශක්ති ඇමති කාලයේ මිල සංශෝධනය කරන්න ඕනෑ වුණත් මුදල් ඇමතිවරයාගේ එකඟතාවය නැතිව ඒක කරන්න බැරි වුණා. දැන් එහෙම නෑ. මුදල් ඇමති ධූරය වගේම බලශක්ති ඇමති ධූරයත් දරන්නේ ජනපති අනුර කුමාර මැතිතුමා. ඒ නිසා බලශක්ති ඇමති ලෙස පෙට්‍රල් මිල රු150ක් කිරීමේ යෝජනාවට වම් අතින් අත්සන් කරලා මුදල් ඇමති ලෙස එකඟතාවය දෙන ලිපියට දකුණු අතින් අත්සන් කරන්න ජනාධිපතිතුමාට දැන් පුළුවන්.

ලෝකයේ සෑම රටකම තෙල් මත බදු අය කරන බවත් බදු ආදායමක් ලැබිය හැක්කේ ඛනිජතෙල්, දුම්වැටි, මත්පැන් සහ වාහන වැනි අනම්‍ය ඉල්ලුමක් තිබෙන භාණ්ඩ මත බදු අය කිරීමෙන් බවත් උසස් පෙලට ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා දරුවන් පවා දන්නා කාරණයක්. මේ බදු අසාධාරණ බවට මැතිවරණ වේදිකාවේ කියලා බලය ගත්තත් දැන් ඒ බදු ඉවත් කරන්නේ නැත්තේ ඇයි? ඒ බදු ඉවත් කරන්න බැරි බව දනිමින් ඒවා ගැන බලය ලබා ගන්න බොරු පොරොන්දු දීලා ජනතාව රැවැට්ටූ බවයි ඒකෙන් පේන්නේ.

ප්‍රශ්නය

මෙම ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුවෙයි කියලා විශ්වාසයකින් කාදිනල්තුමන් පසු වෙනවා ඇති. ඔබතුමා හිතන් නැද්ද එහෙම වෙයි කියලා.

පිළිතුර

කාදිනල්තුමන්ටත් එවැනි බලාපොරොත්තුවක් ඇති. නමුත් මේ මාධ්‍ය හමුව ඇහුව නම් එතුමන්ටත් සිහිපත් වෙයි මටත් අමතක වුනා නේද කෝ වාර්ථාව කියලා අහන්න කියලා. ඒ වගේම ගම්මන්පිලට මේ මාධ්‍ය හමුව ජනපති එන්න කලින් දවසේ තියන්න තිබුනා නේද කියලා එතුමන්ටත් හිතෙන්න ඉඩ තියෙනවා.

ප්‍රශ්නය

මෙවර මැතිවරණයට එන්නේ කුමන අයුරින්ද ?

පිළිතුර

සර්වජන බලය සන්ධානය පදක්කම ලකුනෙන් මෙවර මැතිවරණයට තරග කරනවා. අපි මෙවර බලාපොරොත්තු වන්නේ රන් පදක්කම නෙවෙයි. රිදී පදක්කම. මොකද අගමැතිකම අනිවාර්යෙන්නම යන්න ඕනේ මාලිමාවට. පක්ෂ දෙකකට ජනපතිකම සහ අගමැතිකම ගියොත් රට අස්ථාවර වෙනවා. ප්‍රධාන විපක්ෂයේ භූමිකාව අපි ජනතාවගෙන් ඉල්ලනවා.

මෙම මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළ උරුමය මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න මහතාද අදහස් දැක්වූ අතර පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායක මංජුල නිශ්සංක මහතාද මීට එක් විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *