2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද (22) පැවැති 47 වැනි තරගය හෙවත් සුපිරි 08 දෙනාගේ වටයේ ඉන්දීය – බංග්ලාදේශ තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.
ඒ ලකුණු 50කින් බංග්ලාදේශය පරාජයට පත් කිරීමෙන්.
අද තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමට වන අතර, පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වුණා.
එම තරගය ශ්රී ලංකා වේලාවෙන් අද රාත්රී 08.00 Sir Vivian Richards Stadium, North Sound, Antigua හිදී ආරම්භ වූ අතර, ඉන්දීය කණ්ඩායමේ Rohit Sharma ලකුණු 23ක්ද, Virat Kohli ලකුණු 37ක්ද, Rishabh Pant ලකුණු 36ක්ද, Hardik Pandya නොදැවී ලකුණු 50ක්ද, Shivam Dube ලකුණු 34ක්ද රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Tanzim Hasan Sakib සහ Rishad Hossain කඩුලු 02 බැගින්ද, Shakib Al Hasan එක් කඩුල්ලක්ද දවා ගනු ලැබුවා.
අනතුරුව ලකුණු 197ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කර ගත හැකි වුණේ ලකුණු 146ක් පමණයි.
බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto ලකුණු 40ක්ද, Tanzid Hasan ලකුණු 29ක්ද, Rishad Hossain ලකුණු 24ක්ද ලෙසින් බංග්ලාදේශ කණ්ඩායමෙ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.