බේරුවල රෝහලේ අබලන් සියලු ගොඩනැගිලි කඩිනමින් ප්‍රතිසංස්කරණයට

මෙරට ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (30) කළුතර දිස්ත්‍රික්කයේ කළුතර නාගොඩ ශික්ෂණ රෝහල, බේරුවල මුලික රෝහල, කටුගහහේන ප්‍රාදේශීය රෝහල, නෑබඩ ප්‍රාදේශීය රෝහල, දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල යන රෝහල්වලින් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් සහ එම රෝහල්වල අවශ්‍යතාවයන් නිරීක්ෂණයට ලක්කළේය.
ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින සියලු ගොඩනැගිලි මාස දෙකක් ඇතුළත වහා ප්‍රතිසංස්කරණය කරන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. දැනට ඉදිකිරීම් නතරව පවතින නව මහල් වාට්ටු සංකීර්ණයේ පළමු මහළ කඩිනමින් ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව කටයුතු කරන ලෙස ද මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට (CECB) උපදෙස් ලබාදුන්නේය.

දැනට අළුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින වාට්ටුව සම්පූර්ණයෙන්ම අළුත්වැඩියා කිරිමට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද, බාහිර රෝගී අංශයත් සායන මධ්‍යස්ථානයක් රෝහල ඉදිරිපස ස්ථාපිත කිරිමට ද ඒ සදහා අවශ්‍ය වන සියළු අරමුදල් වෙන් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

රෝහල කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට ප්‍රදේශවාසීන්ට උපරිම වෛද්‍ය සේවා ලබාගත හැකි රෝහලක් බවට පරිවර්තනය කිරීමටත්, ගෙවන වාට්ටු සංකීර්ණ හා සංචාරක ප්‍රවර්ධන වාට්ටු සංකීර්ණ ආරම්භ කිරීමටත් කටයුතු කරන ලෙස මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *