”මට සල්ලි දෙනවා කිව්වා ඒ නිසයි මම එහෙම කළේ” කුරිරු ප්‍රහාරය ගැන සැකකරුවෙක් කළ පාපොච්චාරණය

ලොවම කම්පා කරමින් රුසියාවේ මොස්කව් අගනුවර රංග ශාලාවකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් ගණන 153 දක්වා ඉහළ ගොස් තිබෙනවා.අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.රුසියාවේ මොස්කව් අගනුවර ආසන්නයේ ක්‍රස්නෝගෝර්ස්ක් හි පිහිටි ක්‍රොකස් සාප්පු සංකීර්ණය මොස්කව්හි පිහිටි විශාලතම සාප්පු සංකීර්ණ අතරින් එකක් .මොස්කව් වැසියන් සහ විදෙස් සංචාරකයින් දෛනිකව විශාල පිරිසක් මෙම ස්ථානයට පැමිණෙනවා.මෙම සාප්පු සංකීර්ණයේ ආසන 6,200කින් සමන්විත මෙම රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබූ අතර ඒ වෙනුවෙන් සියළු ප්‍රවේශපත් අලෙවි වී තිබූ බවත් සඳහන්.කෙසේ වෙතත් රාත්‍රි 08ට පමණ එම ප්‍රසංගය ඇරඹීමට ටික වේලාවකට පෙර එම රඟහලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.හමුදා ඇඳුමින් සැරසුණු ප්‍රහාරකයින් සිව් දෙනෙකු රඟහලට කඩා වැදී වෙඩි තැබූ අතර අත් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.විනාඩි 15ත් 20ත් අතර කාලයක් ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වුණේ.කෙසේ නමුත් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වෙඩික්කරුවන් 04 දෙනා ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු රුසියාවේ බ්‍රයන්ස් ප්‍රදේශයේ සිදු කළ රථ වාහන පරීක්ෂා කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.වෙඩික්කරුවන් පැමිණි මෙම සුදු පැහැති මෝටර් රථය සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හදුනා ගැනීමෙන් අනතුරුව සිදු කළ මෙහෙයුම්වලදී මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ ජායාරූපද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබෙනවා.තමන් රුසියානු රූබල් මිලියන භාගයක මුදලක් වෙනුවෙන් මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බවයි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පාපොච්චාරණය කර ඇත්තේ.එම පාපොච්චාරණය පහතින්.”මම වෙඩි තැබුවා, මට සල්ලි දෙනවා කිව්වා ඒ නිසයි මම එහෙම කළේ. මම ඔවුන් දන්නෑ.ටෙලිග්‍රෑම් හරහා තමයි සම්බන්ධ වුණේ.ඔවුන් මට උපදෙස් දුන්නා. මට ප්‍රහාරය එල්ල කළ යුතු ස්ථානයත් දැනුම්දුන්නා.”එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ශෝකජනක අවස්ථාවේ ඉන්දියාව රුසියාව සමඟ සිටින බවයි.මේ අතර ප්‍රංශය හා ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් මෙම ප්‍රහාරය පිළිබඳව ශෝකය පළ කර තිබෙනවා.මේ අතර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිදුවීම තරයේ හෙළා දකින අතර විපතට පත් ජනතාවට සියශෝකය පළ කරන බවයිඑමෙන්ම අප කළ විමසිමකදී විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් වී ඇති බවට මෙතෙක් වාර්තා වීනොමැති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *