මහා මැතිවරණය 2024 – පුත්තලම ජයග්‍රාහී ජනතා රැලිය

මහජනයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීම
වගකීමකින් ක්‍රියා කරන ආණ්ඩුවක කාර්යභාරයයි
ජනාධිපති, අනුර කුමාර දිසානායක

පසුගිය ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයේ ආසන ගණනාවක් ජයග්‍රහණය කරමින්, මෙම දිස්ත්‍රික්කයෙන් අපට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා සේම මහා මැතිවරණයෙන් මේ දිස්ත්‍රික්කයේ ආසන සියල්ලම ජයග්‍රහණය කරන බව පැමිණ සිටින මේ මහා ජන ගංගාවෙන් තහවුරු වෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මේ දක්වා පත්කර යැවූ මන්ත්‍රීවරුන් කවුද? ඒඅ ය බලෙන් ඉඩම් ඇල්ලීම, කුඩු ජාවාරම් කිරීම, හොර රත්‍රන් ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, බලෙන් ඉස්සන් කොටු ඇල්ලීම වැනි ජනතා ද්‍රෝහී ක්‍රියාවලට යොමුවෙලා හිටියා. ජනතාව පීඩාවේ හෙළන මන්ත්‍රීවරුන් වෙනුවට ජනතාව සමඟ උරෙනුර ගැටී රට ගොඩනඟන නව සංස්කෘතියක් සහිත මන්ත්‍රීවරුන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට එවන්න. ඒ වෙනුවෙන් ඉන්නේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පොදුවේ තිබෙන විරෝධය අවසන් කර පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ මහා ශ්‍රමදානයට මාලිමාවෙන් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. අපි එහෙම කියන කොට සමහර අය කියනවා, මාලිමාවේ අපේක්‍ෂකයන්ගේ මුහුණු දන්නේ නෑ කියලා. අපරාධ කරලා ජාවාරම් කරලා ප්‍රසිද්ධ වුනු මුළු රටම දන්නා අපරාධකරුවන් වෙනුවට මේ රට ගොඩනැඟිය හැකි මාලිමාවේ බලවත් ආණ්ඩුවක් ගොඩනඟන්න අපි කටයුතු කරමින් සිටිනවා.

ජනාධිපතිවරණයෙන් පසු ලෝකයේ සිටින කුඩාම කැබිනට් මණ්ඩලය හැදුවා. අපි ගෙනයන ආණ්ඩු ක්‍රියාකාරීත්වයේ අඩුවක් දැනෙනවාද? එවැනි අඩුවක් නැහැ. රතිඤ්ඤාවක්වත් පත්තු නොවන ආකාරයේ ජයග්‍රහණයක් සමරමින්, ලබාදී තිබෙන ආදර්ශය මේ මහා මැතිවරණයේදී ද ඡන්ද ව්‍යාපාරය තුළ රැකගනිමින් සිටිනවා. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය කියන්නේ, මැතිවරණ භීතියක් ඇතිකරපු දිස්ත්‍රික්කයක්. නමුත්, මේ මැතිවරණ සමය තුළ සාමකාමීම මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අත්දැකීමක් ඉතිහාසයට එක්කර තිබෙනවා. සමහරු කතා කරනවා යුරෝපයේ පවතින දියුණු දේශපාලන සංස්කෘතිය ගැන. එවැනි දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමේ මැතිවරණ ව්‍යාපාරයක් ජාතික ජන බලවේගය ගෙනයමින් සිටිනවා. මහා මැතිවරණයේදී ලබාගන්නා විශිෂ්ට ජයග්‍රහණයෙන් පසුවත් මේ තත්වය රැකගැනීමේ දේශපාලන සංස්කෘතියක් තහවුරු කරනවා.
දේශපාලනය එපාවෙලා හිටපු තරුණ පරම්පරාව ඇතුළු සියලු දෙනා අලුත් හැඟීමකින් රට පුරාම දේශපාලනයට එක්වෙමින් සිටිනවා. මැතිවරණයෙන් පසුව විද්‍යාත්මක පදනමක් මත විසිපහකට අඩු ඇමැති මණ්ඩලයක් පත් කරගෙන රට ගොඩනැඟීමේ සැලැසුම ක්‍රියාත්මක කරනවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමේ වැඩපිළිවෙළ දැනටමත් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙනවා.

විශේෂයෙන් මැදපෙරදිග නිර්මාණයවී තිබෙන යුද ගැටුමේ බලපෑම මේ වනවිට ලෝකය පුරා පැතිර යන අතර, ලංකාවටත් යම් යම් අවදානම්කාරී තත්වයන් ඇතිවී තිබෙනවා. එවැනි යම් දෙයක් ලංකාවේත් ඇති විය හැකි බව මෙයට සති දෙකකට පමණ පෙර අපට වාර්තා වුණා. අපි බුද්ධි අංශ තොරතුරු ආවාම මාධ්‍ය සාකච්ඡා තියන්නේ නැහැ. එහෙම නැත්නම් එම තොරතුරු පාවිච්චි කරලා ජනතාව කළබල කරන්නේ නැහැ. අදාළ ස්ථානවල ආරක්‍ෂාව අප වේගයෙන් තහවුරු කළා. එම තොරතුරුවලට අනුරූප වන පරිදි වගකීමෙන් කටයුතු කරනවා. වගකීමකින් යුතුව පුරවැසියන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනවා. ඒ වාගේම බුද්ධි අංශ තොරතුරු මත පරීක්‍ෂණ වේගයෙන් දියත් කර සැක කටයුතු කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ආණ්ඩුවක් හැටියට අපේ වගකීම වෙන්නේ එවැනි සිදුවීමක් වැළැක්වීමයි. වෙනදා සිදු කළේ එක්කෝ බුද්ධි තොරතුරු නොසලකා සිටීම හෝ මාධ්‍යයට ලබා දී කලබැගෑනියක් නිර්මාණය කිරීමයි. ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලිසිය සහ ආරක්‍ෂක අංශ සමඟ ඉතා සමීපව නිරන්තර අවධානය යොමු කරමින්, ගත යුතු පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙනුත් සමහර අය කලබල වී ඉන්නවා. මහජනයාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගත හැකි සියලු පියවර ගැනීම වගකීමකින් ක්‍රියා කරන ආණ්ඩුවක කාර්යභාරයයි. ආර්ථික වශයෙන් ආරක්‍ෂාව වශයෙන් ව්‍යාපාර දියුණු කිරීමේ පැත්තෙන් දරුවන්ගේ අධ්‍යාපනය පැත්තෙන් වාගේම වැඩ කරන ජනතාවගේ පැත්තෙන් සියලු දෙනා බලාගනිමින්, ආරක්‍ෂා කිරීම ආණ්ඩුවක වගකීමයි. එය අපි ඉටු කරමින් සිටිනවා.

රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීමට සල්ලි වෙන් කර තිබූ බව හිටපු ජනාධිපතිවරයා කියනවා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දෙ ඔන්න මෙන්න තියලා කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගන්නවා. නමුත් ඔහු මුදල් වෙන් කර නැහැ. රනිල් මුදල් වෙන් කර නොතිබුණාට එළැඹෙන අය-වැයෙන් අපි රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. ඒ නිසා පැරැදුණාට පස්සේ එහෙන් මෙහෙන් කෙනිත්තිලි නොකර පැත්තකට වෙලා ඉන්න කියලා හිටපු ජනාධිපතිට අපි මතක් කරනවා. නමුත්, ඔවුන් කරන්නේ කුමන හෝ ප්‍රශ්නයක් කුමන හෝ ප්‍රබන්ධයක් ඇති කරමින්, යළි බලය අත්පත් කර ගැනීමට ප්‍රයත්න දැරීමයි. අපේ ආණ්ඩුව මාස තුනෙන්, හයෙන් වැටෙන බව කියන්නත් පටන්ගෙන තිබෙනවා. අපි මේ රට හදලා විතරයි නතර වෙන්නේ කියන එක ඔවුන්ට මතක් කර දෙනවා. ඉන් මෙහා ජාතික ජන බලවේගය නතර වෙන්නේ නැහැ. ආර්ථික වශයෙන් දියුණු රටක්, පිරිසිදුභාවයෙන් දියුණු රටක්, මිනිසුන්ගේ හැසිරීම්වලින් දියුණු රටක්, නීතියේ විධානයේ ආධිපත්‍යයෙන් දියුණු රටක් වාගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ජාතික සමඟිය ආරක්‍ෂා කෙරෙන රටක් අපි නිර්මාණය කරනවා. ඊට අමතරව ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින්, පරිසරයට ආදරය කරමින්, ලෙන්ගතුව ආරක්‍ෂා කර ගන්නා දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා. කාට හරි මේ දේවල් බලාගෙන ඉන්න බැරි නම්, පැත්තකට වෙලා අඬ අඬා ඉන්නයි වෙන්නේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේදී අපට එරෙහිව සියලුම ආකාරයේ ප්‍රචාර ඔවුන් ගෙන ගියා. අපට විදේශ සම්බන්ධතා නැති බවට භීතියක් මැව්වා. මේ වන විටත් මහ බැංකුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්, ආර්ථික උපදේශකයන් ඇමෙරිකාවට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වාගේම ලෝකයේ හැම රටක් සමඟම සමීප සම්බන්ධතා රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් තහවුරු කරගෙන සිටිනවා. ඒ නිසා ඔවුන්ට අද රැස්වීමකට ඇවිත්, කියන්න දෙයක් නැතිවෙලා. ඒ නිසාම මාධ්‍ය හමු පවත්වමින්, නැවත නැවතත් අවලාද නඟන්න, අසත්‍ය ප්‍රචාර ගෙනයන්න පටන්ගෙන තිබෙනවා. නමුත්, ජාතික ජන බලවේගය හැම විටම සත්‍යය මත පදනම් වී දේශපාලනය කරන ව්‍යාපාරයක් බව යළි මතක් කර දෙනවා. පාර්ලිමේන්තුවේදීත් කකුලෙන් අදින්න ඉඩ දෙන්නේ නැති බාල්දි පෙරළන්න ඉඩ දෙන්නේ නැති ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට අරන් දෙන්න. තමුන්නාන්සේලා සියලු දෙනාගේ වගකීම භාර ගන්නා ආණ්ඩුවක් අප පිහිටුවනවා. කුමන හෝ සැකයක් නිසා ජනාධිපතිවරණයේ දී අපට ඡන්දය නොදුන් ජනතාව මහ මැතිවරණයේදී නදිපතා අපිට එකතු වෙමින් ඉන්නවා.
ආණ්ඩු කියලා කියන්නේ, තමන් වෙත ඡන්දය නොදුන් ජනතාවගේත් විශ්වාසය දිනා ගන්නා බලවේගයි. ගතවෙන හැම මොහොතක් පාසාම ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා අපේ ආණ්ඩුව වට්ටනවා කියලා හිතන්නවත් එපා කියලා මතක් කරනවා. පරම්පරා ගණනක් පාර්ලිමේන්තුවේ බලයේ ඉඳලා ඒවා අහිමි වුනාම දුකට කියන කතා බොහොමයක් දැන් අහන්න ලැබෙනවා. අපිට එල්ල කරන බොරු චෝදනා කිසිවකින්වත් අපේ ආණ්ඩුවට කුඩා හෝ බලපෑමක් කළ නොහැකි බව මතක් කර දෙනවා. සමහර දේශපාලන පක්‍ෂ අවසන් මොහොතේත් වාසි ලබාගන්න බොරු ප්‍රචාර දියත් කරමින්, මැතිවරණයෙන් පස්සේ අප සමඟ එක් වන බව කියනවා. එහෙට මෙහෙට පැනීම සම්බන්ධයෙන් ජනතාව තුළ දැඩි විරෝධයක් තිබෙනවා. අවස්ථාවාදීව පනින, තැරැවුකරුවන්, කොන්ත්‍රාත්කරුවන් නැති එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ඉදිරියේදීත් අපේ ස්ථාවරයන් ඒ ලෙසම ආරක්‍ෂා කරනවා. රට ගොඩනැඟිය හැකි විශාල ජයග්‍රහණයක් මේ මැතිවරණයෙන් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොහොසත් රටක් ගොඩනඟා ලස්සන ජීවිතයක් උදාකර දීම වෙනුවෙන් සියලුම දෙනා ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.

සුළං බලය යොදා ගනිමින්, විශාල වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමේ සැලැසුම් ඇතුළු දැවැන්ත සංවර්ධන සැලැස්මක් සකස් කර අවසන්
පුත්තලම් දිස්ත්‍රික් අපේක්‍ෂක කණ්ඩායම් නායක, මහාචාර්ය චන්දන අබේරත්න

මුළු රටම වැඩබිමක් බවට පත් කරමින්, ආර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලියට පණපොවන අතර, පුත්තලම් දිස්ත්‍රික්කය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය ගොඩනැඟීමේ සැලැසුම් සකස් කර තිබෙනවා. ඒ වාගේම මේ හමාගෙන එන සුළං බලය යොදා ගනිමින්, විශාල වශයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට යොදා ගැනීමේ සැලැසුම් ඇතුළු දැවැන්ත සංවර්ධන සැලැස්මක් සකස් කර අවසන්. එමෙන්ම පුත්තලම් කළපුව, විල්පත්තුව අභයභූමිය, වෙරළ තීරය යොදා ගනිමින්, සංචාරක කර්මාන්තය විශාල වශයෙන් සංවර්ධනය කිරීමට අපි සැලැසුම් සකස් කර තිබෙනවා.

ඒ වාගේම අපේ දරුවන්ගේ අධ්‍යාපනය මේ වන විට පවතින විශාල අඩුපාඩුකම් මඟහරවා ගනිමින්, ඉදිරියට යාමේ වැඩපිළිවෙළක් දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙනවා. ඒ වාගේම ක්‍රීඩා අංශයෙන් ජාතික මට්ටමේ පමණක් නොවෙයි, අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ දක්වා ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මෙම කටයුතු වෙනුවෙන් එළැඹෙන මහා මැතිවරණයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීමට මුස්ලිම් සහෝදරත්වය විශේෂයෙන්ම ජාතික ජන බලවේගය වටා එක්වී සිටිනවා. මහා මැතිවරණයට ඉදිරිපත්වී සිටින අප කිසිවෙක් පෞද්ගලික අරමුණු වෙනුවෙන් ඉදිරිපත් වී නැහැ. පොදුවේ රටත්, ජනතාවත් ජයග්‍රහණය කරවීමට සියලුම දෙනා කැපවී කටයුතු කරනවා.

අපේ ආණ්ඩුවෙන් ජනතාවගේ ගුණාත්මක සෞඛ්‍ය සේවා අයිතිය තහවුරු කරනවා
ජාතික විද්වත් සංවිධානයේ පුත්තලම් දිස්ත්‍රික් කමිටු සාමාජික, වෛද්‍ය සුනිමල් ජයකොඩි

පසුගිය ජනාධිපතිවරණයේදී අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මහා මැතිවරණය යොදා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. දශක ගණනාවක් පුල පුලා බලා සිටි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අපට ලැබී තිබෙනවා. අපේ රජයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය නඟාසිටුවීමේ අවශ්‍යතාව ගැන මම කෙටියෙන් පැහැදිලි කරන්නම්.

සෞඛ්‍යය කියන්නේ කායික, මානසික, ආධ්‍යාත්මික වාගේම සමාජයීය වශයෙන් ලබා ගන්නා නිරෝගීතාවයි. ලංකාවේ ජනගහනයෙන් සියයට 20ක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. දියවැඩියාව කියන්නේ රෝග ගණනාවක එකතුවක්. ඒ වාගේම ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිරිහීමේ ප්‍රතිඵලයක් හැටියට වයස අවුරුදු පහට ළමා පරපුර සියයට 40ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. පවතින මානසික පීඩනයෙන් මිදීමට තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී, පවුල් කඩාවැටී, සමාජයම බිඳවැටීමට ලක්වී තිබෙනවා. මම ජීවත් වන වනාතවිල්ලුව ප්‍රදේශයේ පල්ලියට පවා යන්න බැරි තත්වයේ විවිධ ගැටුම් පවතිනවා. සාමාජික සෞඛ්‍යය පිරිහීමේ ප්‍රතිඵලයක් ඒක. නමුත්, එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව සෞඛ්‍යය කියන්නේ මූල්‍ය අපහසුතාවකින් තොරව ගුණාත්මකව ලබාගත යුතු අයිතියක් බව පිළිගෙන තිබෙනවා. කාර්යක්‍ෂම සෞඛ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මූලිකත්වය දී ක්‍රියා කරනවා. ඉදිරි අනාගතයේ දී ශක්තිමත් සෞඛ්‍ය සේවයක් ලබාදීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ විශේෂයෙන් සිදු කරන බව අප තහවුරු කරනවා.

පුත්තලම් දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට පොස්පේට් නිධියෙන් අපේම පොහොර නිෂ්පාදනය කරනවා
ජාතික ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් විධායක සභික, ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ඇන්ටන් ජයකොඩි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කරන්නක් බව තහවුරුවී තිබෙනවා. නාස්තිකාර වියදම්වල කේන්ද්‍රය වී තිබූ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉතාම වියදම් අඩු තැන් බවට මේ වන විටත් පත්කර තිබෙනවා. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ බිමේ යථාර්ථයක් බවට පත්කරන්න පාර්ලිමේන්තුවේ බලයත් අතිශය වැදගත්.

පුත්තලම් දිස්ත්‍රික්කය කෘෂිකර්මාන්තයට මූලිකත්වයදී තිබෙන අතර, අල්ලපු දිස්ත්‍රික්කය වන අනුරාධපුරයේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන පොස්පේට් නිධියක් පිහිටා තිබෙනවා. 1971 මේ නිධිය සොයා ගැනීමත් සමඟ මේ දක්වාම වසරකට රුපියල් මිලියන 35,000ක් වැයකර කෘෂිකර්මාන්තයට අවශ්‍ය සුපර් පොස්පේට් පිටරටින් ආනයනය කරමින් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය අනුව කෙටි කාලයක් තුළ මේ පොස්පේට් නිධිය යොදා ගනිමින්, කෘෂිකර්මාන්තයේ පොහොර අවශ්‍යතාවෙන් එක් වර්ගයක් නිෂ්පාදනය කර ගැනීමට යොදා ගන්නවා. ඒ වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින එකොළොස් දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවන ලෙස ඉල්ලා සිටිනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කාන්තාවන්ට ආරක්‍ෂිතව ගමන් කිරීමේ හැකියාව තහවුරු කරනවා
පුත්තලම දිස්ත්‍රික් අපේක්ෂිකා, නීතිඥ හිරුණි විජේසිංහ
අපේ කතිරයේ බලයෙන් ප්‍රභූ පැලැන්තිය ජනාධිපතිවරණයේදී පරාජය කර එළැඹෙන මහා මැතිවරණයෙන් අපේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ඒ වෙනුවෙන් අගමැතිනි, හරිනි අමරසූරිය සහෝදරියගේ නායකත්වය යටතේ විශාල ඉඩප්‍රස්ථාවක් අපට ලැබී තිබෙනවා. අපේ රටේ ජීවත් වන කාන්තාවන් රට තුළ මෙන්ම රටෙන් පිටතදීත් ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙමින් ඉන්නවා. නමුත්, අද සමාජය තුළ කාන්තාවන්ට ලබාදී තිබෙන්නේ ගෘහස්ථ හිංසනයට ලක්වීම, බස්රථ තුළදී අපචාරයට ලක්වීම ඇතුළු පළල් පරාසයක් තුළ අනාරක්‍ෂිත තත්වයට පත්ව සිටිනවා. නමුත්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ආරක්‍ෂිතව ගමන් කිරීමේ හැකියාව තහවුරු කරනවා. රටේ ආර්ථිකය, සමාජයීය සහ දේශපාලනික යන ක්‍ෂේත්‍ර සියල්ලෙන්ම ලෝකයේ අභිමානවත් රටක් ලෙස ඔසොවා තැබිය හැකි දිශාවට රට ගෙන යාමේ අවස්ථාව ජයග්‍රහණය කරවීමට සියලුදෙනාම පෙළගැසෙන ලෙස ආරාධනා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *