මහ බැංකුවේ ආර්ථික විවරණය එළිදකී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාම මෙරට ආර්ථික ප්‍රගතියට අත්‍යවශ්‍ය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව අනාවරණ කර ඇත්තේ සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය සහ 2023 වසරේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව මගින්.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් 2023 වසරේ අවසාන භාගය තුළදී දක්නට ලැබුණු ආර්ථික ප්‍රගතිය ඉදිරි වසරවලදීත් අඛණ්ඩව පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ.

රජයේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග විදේශීය අංශයේ ස්ථායීතාව ආරක්ෂාවනු ඇති බවට මහ බැංකුව අපේක්ෂා කරන බවද අදාළ වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය පළමු වාර්ෂික ආර්ථික විවරණය සහ 2023 වසරේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ (25) භාර දී තිබෙනවා.

නිදහසෙන් පසු ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික පසුබෑමෙන් අනතුරුව 2023 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම පෙන්නුම් කරන අතර රජය සහ මහ බැංකුව විසින් ක්‍රියාවට නංවන ලද තීරණාත්මක ප්‍රතිපත්ති ගැළපුම් සහ ප්‍රතිසංස්කරණ මගින් සාර්ව ආර්ථික ස්ථායිතාව යළිත් ස්ථාපිත කිරීමට හැකි වූ බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

2022 වසරේදී වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම්වල සිට 2023 වසර අවසානය වන විට උද්ධමනය තනි ඉලක්කමක මට්ටමට පාලනය වී ඇති බවත් එමගින් මුදල් ප්‍රතිපත්තිය සාමාන්‍යකරණය කිරීමට අවස්ථාව සැලසුණු බවද එම වාර්තාවේ සඳහන්.

මෙම ප්‍රවණතා සමග 2023 සහ 2024 වසරේ මුල් කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ අතර ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවර සහ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් කිරීමත් සමග වෙළෙදපොළ පොලී අනුපාතිකය සැලකිය යුතු ලෙස පහළ ගිය බවද මහ බැංකුව පවසනවා.

මේ අතර, මෙම වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3%කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බවට ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති විස්තීරණ අරමුදල් පහසුකම් ගිවිසුම ඉතා වැදගත් බවට ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *