මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ
ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින මොහොතක ගැහැනු අපි විශාල වගකීමකින් තීරණයක් ගත යුතු වෙනවා. ගැහැනු අපට අද වේලිලා, කර්කශ වී තිබෙන රට අලුත් බලාපොරොත්තු සහිත පුනරුද යුගයක් කරා පෙරලන්න ක්‍රියාකළ යුත්තේ කෙසේද යැයි අවබෝධයක් තිබීම අවශ්‍යයි. රට වැට්ටූ හොරු රැළ එපා කියලා, මේ දේශපාලන සංස්කෘතියම එපා කියලා පාරට බැස්සේ අපේ අම්මලා, තරුණ තරුණියන්, අපේ දරුවන්, මොනතරම් පීඩාවකට පත්වී සිටියාද කියන අවබෝධයෙන්. ජනාධිපති ප්‍රමුඛ දූෂිත පාලකයන් රැළ දැන් නැවතත් ජනතාවට කතන්දර කියන්න පටන්ගෙන තිබෙනවා. මේ රට අලුත් කරන්න දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතියේ නව පුනරුද යුගයකින් මුල සිට ආරම්භ කරන්න ඕනෑ. සැප්තැම්බර් 21 කියන්නේ ගැහැනු අපේ, අපේ දරුවන්ගේ, සමස්ත ජනතාවගේ වගේම ජීවිත තීරණය කරන දවසක්. ජාතික ජන බලවේගයේ ගැහැනුන් හැටියට මේ ඡන්දය වෙනදාට වඩා බරකින් අපට දැනෙන්නේ පුනරුද යුගයේ ආරම්භය ගත යුතු නිසයි. පසුගිය කාලයේ ගමින් ගමට ගිය අපි ගැහැනුන් සංවිධානය කරමින් දේශපාලනයේ පෙරමුණ ගන්න යොමු කර වූවා. ගැහැනුන් හැටියට තවදුරටත් ශක්තිමත් වී සියලු පුරවැසියන් නිවැරදි මාවතට ගෙනයාමේ කාර්යභාරයක් ඉතා හොඳින් සිදුකිරීමට නායකත්වය ගන්නා ලෙස ආරාධනා කරනවා.
අපේ හැමදෙයක්ම කොපි කරන අයට විශේෂ අවධානයක් කරමින් අපි කළුතරින් ගැහැනුන්ගේ රැලි මාලාවක් ආරම්භ කරනවා. මුළු ලංකාව පුරාම මේ රැලි මාලාව පවත්වා අගෝස්තු 25දා ජාතික මහා රැලියක් කොළඹදී පවත්වනවා. ඡන්දය දවසට විතරක් දේශපාලනයෙන් එළියට බැස්ස ගැහැනු මොනතරම් සවිඥානිකව දේශපාලනික වශයෙන් අවදිකරන්න ජාතික ජන බලවේගයට හැකි වුණාද යන්න අපි ඔප්පු කරනවා. මේ රට බංකොලොත්භාවයට පත්කළ නායකයන් අද කියනවා රට බංකොලොත්භාවයෙන් මුදා ගත්තා කියලා. මහ බැංකුව හොරකම් කරලා, මහජන මුදල් හොරකම් කරලා, පෝලිම් ඇති කළ නායකයන් දත්ත ඉදිරිපත් කරමින් ගෙන යන ප්‍රෝඩාව පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනෑ. 2022 අගෝස්තු මාසයේ උද්ධමන වේගය 64.3%කින් වැඩිවී තිබෙනවා. 2024 ජූලි මාසය වන විට උද්ධමන වේගය 2.4% දක්වා අඩු කළ බව කියනවා. උද්ධමනය අඩු වෙලා කීවාට අපේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවලින් මේ බව දැනෙනවාද? 2022 අගෝස්තු මාසයේ සම්බා හාල් කිලෝ එක රුපියල් 240යි. නාඩු රුපියල් 210යි. ආර්ථිකය හොඳයි කියන දැන් සම්බා කිලෝ එක රුපියල් 250යි. නාඩු කිලෝ එකක් රුපියල් 220 – 230 අතරේ පවතිනවා. උද්ධමන වේගය විශාල වශයෙන් අඩුවී ඇති බවත් ආර්ථිකය හොඳ බවත් ඔවුන් කීවත් මේ සංඛ්‍යා ලේඛන මහ පොළොවේ නැහැ. ගෙදර බත්පත උයාගන්න වැයවන වියදම වැඩිවෙලා මිස අඩුවී නැහැ.
ඒ වගේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළිවි තිබෙන්නේ අපේ රටේ ගෘහ ඒකකවලින් 90.1%කගේ මාසික ජිවන වියදම වැඩිවී ඇති බවයි. එහෙම නම් ආර්ථිකය ශක්තිමත්ද? වියදම වැඩි නිසා ආහාර වගේම තවත් අත්‍යවශ්‍ය වියදම් කපා හැර තිබෙනවා. බෙහෙත්හේත්වලට වියදම් කරන්න සල්ලි නැති නිසා අත්බෙහෙත්වලට යොමුවීමෙන් මහා ඛේදවාචකයක් සිදුවී තිබෙනවා. පවුල් ඒකක 53.1%ක් පාසල් උපකරණ මිලදී ගැනීම් අඩු කර තිබෙනවා. ගෘහ ඒකකවල අධ්‍යාපනයට සම්බන්ධ මාර්ගගත වියදම් 28.1%කින් කපා හැර තිබෙනවා. අමතර පංතිවලට සහභාගීවීම ගෘහ ඒකකවලින් 40.6%ක් අඩු කර තිබෙනවා. ජනාධිපතිගේ දිව නැවෙන නැවෙන ආකාරයට කරන ප්‍රකාශ ඇත්ත නොවෙයි. දරුවා අඳින, කනබොන ආකාරය මේ සංඛ්‍යා ලේඛනවලින් පවා තහවුරු වී තිබෙනවා. ඒ වගේම සිඟමන් යදින දරුවන් තිස්දහසක් සිටින බව මාධ්‍ය වාර්තාවලින් හෙළිකර තිබුණා. දරුවන් සිඟමන් යදින තත්වයට මේ රට නරාවළක් කළ පාලනය වෙනස් කරන්න මේ ජනාධිපතිවරණය යොදා ගනිමු. දරුවාට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදී, දෙමාපියන් මත පටවා තිබෙන අධ්‍යාපනයේ බර රජයේ වගකීමක් බවට පත්කර ගන්න නම් රටේම ගැහැනුන් එකමිටට එකතු වී අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති ධුරයට පත්කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් ධෛර්යයෙන් එකතුවෙන ලෙස කාන්තාවන්ට ආරාධනා කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *