යුක්‍රේන රැකියා මගඩිය

මෙරට ත්‍රිවිධ හමුදාවන්හි විශ්‍රාමලත් හමුදා සෙබළුන් සහ නිලධාරීන් රුසියානු සහ යුක්‍රේන හමුදා සේවයට බඳවා ඉහළ වැටුප් සහ පුරවැසිභාවය ඇතුළු විශාල වරප්‍රසාද ලබා දෙන බව පවසා රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් රුසියානු – යුක්‍රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

කෙටි කාලීන මුදල් ඉපයීම් වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් පොලඹවා ගැනීමට දරනු ලබන රහසිගත උත්සාහයන් පිළිබඳ වර්තමානයේදී නොයෙක් වර නිරීක්ෂණය වී ඇත. සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන යන ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන්, රුසියාව සහ යුක්‍රේනය තුළ ක්‍රියාත්මක වන කුලී හමුදාවන් වෙත සම්බන්ධ කරන අතර ඔවුන්ට පොරොන්දු වන කිසිදු ඉහළ වැටුපක් හෝ වරප්‍රසාදයක් හිමි නොවන බවට තොරතුරු අනාවරණය වී ඇත.

එමෙන්ම අධික සීතල සහ අවම පහසුකම් සහිත වටපිටාවක කිසිදු සන්නිවේදන පහසුකමක් නොමැති දුෂ්කර සහ කටුක තත්ත්වයන්ට මුහුණදීමට සිදු වී ඇති බවටද වාර්තා වේ. මෙලෙස යුද කටයුතු සඳහා යැවෙන විශ්‍රාමිකයන් යුද බිමේදී බරපතළ තුවාල ලබා කිසිදු හව්හරණක් නොමැතිව මියගොස් සිටින බවටද තොරතුරු වාර්තා වී ඇති බව නාවික හමුදාව පෙන්වා දෙයි.

විවිධ කණ්ඩායම්වල පෙලඹවීම් මත විදේශීය කුලී හේවා කණ්ඩායම් වෙත රණවිරුවන් යොමුකිරීමේ වංචාකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙස විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මාතෘ භූමියේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් රණවිරුවන් විසින් කරනු ලැබූ උත්තරීතර පරිත්‍යාගය පෞද්ගලික වාසි සඳහා වෙළෙඳාම් කළ යුතු භාණ්ඩයක් නොවන බවත් කුලී හේවා කණ්ඩායම්වලට එක්වීමේදී එහි ඇති භයානකත්වය සහ අනතුරුදායක බව පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දෙයි.

මිනිස් ජාවාරමට හසුවීමෙන් මව්බිම වෙනුවෙන් වසර ගණනාවක් සේවය කළ විශ්‍රාමලත් හමුදා පුද්ගලයන්ට හිමිවන සියලු වරප්‍රසාද සහ උපයා ගත් වත්කම් අහිමි කරගැනීමෙන් වළකින ලෙස නාවික හමුදාව ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන්ට පවසයි. සේවා සගයන්ගේ හෝ පවුලේ සමීපතමයින්ගේ රැකවරණයක් නොමැතිව මවුබිමෙන් දුර බැහැර විදේශ භූමියකදී ජීවිතයෙන් සමුගැනීමේ අවදානමකට පත්වීමෙන් වළකින ලෙස විශ්‍රාමලත් නාවික හමුදා පුද්ගලයන්ට නාවික හමුදාව අවධාරණය කරයි.

මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හෝ ඊට අනුබල දෙන අය සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් නාවික හමුදා මූලස්ථානයේ දුරකථන අංක 0117192142 හෝ 0117192250 යන අංකයන් වෙත දැනුම්දෙන ලෙස නාවික හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *