රනිල් එක්ක අපේ සාකච්ඡා නැහැ. අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සමගි ජන සන්ධානයෙන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රනිල් වික්‍රමසිංහ වැනි අය සමඟ සාකච්ඡා නොමැති බවත් අංක ගණිතමය වශයෙන් පමණක් බැලුවොත් තමන් සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වූවා නම් ජය ගත හැකි වුවත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියහොත් එය සත්‍යක් නොවන බව පෙනී යන බවත් රටේ ජනතාව ලබා දුන් ජන මතය, ජනතා ආශිර්වාදය තමා නිහතමානිව බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරි මහමැතිවරණයට තමා සූදානම් බවත් සමගි ජන සන්ධානය ලෙස මහමැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වන ප්‍රගතිශීලි හා ජනතාව පිළිගන්නා පුද්ගලයන් සමඟ අත්වැල් බැඳ ගත හැකි බවත් මේවා දේශපාලන ඩීල් නොව ප්‍රතිපත්තිවලට අනුකූලව, ප්‍රතිපත්ති පිළිගෙන ඒ තුළින් ඉදිරියට යාමට කැමති අයට බාධාවක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රනිල් වික්‍රමසිංහ මහතා මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසන බවත් ඔහු නොමැතිව ඔහුගේ කණ්ඩායමට තැනක් නොමැති බවත් අප රට බොහෝම අමාරු තැනක ඇති නමුත් මැතිවරණ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කර පිරිසුදු රාජ්‍ය පාලනයක් හා සුපිරිසුදු ප්‍රතිපත්තිගරුක ජන සමාජයක් ගොඩ නැගීමේ දී ප්‍රගතිශීලී යෝජනාවලට ඕනෑ ම අවස්ථාවක සහාය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස මහමැතිවරණය මෙහෙයවීමේ වගකීම වත්මන් විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට අද කොළඹ දී රැස් වූ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් ඒකමතිකව තීන්දු කරන ලදී. මෙහි දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා පසුගිය දිනවල බොරු වට්ටෝරුවක් ක්‍රියාත්මක වූ බවත් අද සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන් තමාගේ නායකත්වයෙන් මැතිවරණය මෙහෙයවන්න යෝජනා කළ බවත් පසුගිය දිනක විවිධ පුද්ගලයන් බොරු වපුරවමින් සිටි බවත් ඒ නිසා ජනතාව, මාධ්‍ය මඟින් කියන දේ හා ප්‍රකාශ කරන දේ ඒ ආකාරයෙන්ම පිළිනොගෙන බුද්ධිමත්ව සිතන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවද කාමර ඇතුළේ රහසේ තීන්දු තීරණ ගන්න ක්‍රමය සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර ඇති බවත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ බලයක් තිබුණත් නැතත් රට ගැන ජනතාව ගැන සිතා රටට අගයක් එකතු කරන බවත් සමාජ මාධ්‍ය හරහා කරන විහිලු නිසා තමා මානසිකව කඩා නොවැටෙන බවත් ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *