රනිල් වික්‍රමසිංහ මහත්තයට මඩ ගහනවා වහාම නවත්වන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කර අපහාසාත්මක දුස්තොරතුරු රැසක් !
විදෙස් කෝකියන් – විදෙස් ආහාර වට්ටොරු කතා සියල්ල අසත්‍යයි !
මඩ ගහන්න කාලය නොගෙන ජනතා බලාපොරොත්තු ඉටු කරන්න !
එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන
ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක දුස්තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන තත්ත්වයක් පෙනීයන බවත් තම පක්ෂය එකී පදනම් විරහිත ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂය ලෙස තරයේ හෙළා දකින බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා අවධාරණය කරයි.
අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස ඔක්තෝබර් 06 වනදා ලිඛිත නියෝග ලබාදී ඇති බව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වූ නමුත් මේ වන විට වැඩබලන පොලිස්පතිවරයා එම පුවත ප්‍රතික්ෂේප කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ අද (07) කොළඹදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එසේම කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය ජනාධිපති මන්දිරය පෞද්ගලික පරිහරණය සඳහා යොදානොගත් බවත් එය භාවිතා කළේ නිල රාජකාරි කටයුතු සඳහා පමණක් බවත් පෙන්වා දුන් ඒ මහතා සුඛෝපභෝගී ආහාර සහ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ ද අසත්‍ය මෙන්ම මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමහගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ ප්‍රකාශ පමණක් බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරමින් අඛණ්ඩව අපහාසාත්මක අසත්‍ය තොරතුරු රැසක් සමාජගත කරමින් තිබෙන බව පෙනීයනවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අප එකී ප්‍රකාශ තරයේ හෙළා දකිනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට විශාල වැඩ කොටසක් සිදුකර තිබෙනවා. ඒ වගේම පසුගිය සමයේ කඩා වැටී තිබූ මෙරට ආර්ථිකය ධන පැත්තට හරවා දුන්නේ ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යි. නමුත් එතුමා ඉලක්ක කර කිසියම් අපහාසාත්මක අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් සිටිනවා.
ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් ඉවත් කර තිබෙන බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙනවා.
ඊයේ, එනම් ඔක්තෝම්බර් මස 06 වන සඳුදා සවස වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති – මානව සම්පත් කළමනාකරණ, සිසිර කුමාර විසින් ස්ථාන මාරුවීම් දක්වමින් ලිඛිත නියෝගයක් නිකුත්කර තිබෙන බවත් එහි සඳහන් වුණ. ඊට අනුව අටවන විධායක ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන්ට නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි වාර්තා කරන ලෙස නියෝග ලබාදී තිබෙනවා.
නමුත් මේ පිළිබඳව සමාජමාධ්‍ය වාර්තා කිරීමෙන් පැය කිහිපයකට පසුව වැඩබලන පොලිස්පතිවරයා විසින් එම මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත්, ආරක්ෂාවට සිටි සියලු නිලධාරීන් ආරක්ෂක රාජකාරි වල සිටින බවත් ප්‍රකාශ කර තිබෙනවා. අපි විශ්වාස කරනවා එතුමා මේ පිළිබඳව විධිමත් අවධානයක් යොමුකර කටයුතු කරයි කියලා. ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කිසියම් වෛරයක් ඇතිකරවීමට ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයක් ක්‍රියාකරන බවක් පෙන්නුම් කරනවා
එසේම පසුගිය දින කිහිපයේදී වර්තමාන ආණ්ඩුවට හිතවත් පාර්ශවයන් විසින් හිටපු ජනාධිපතිවරයා විසින් භාවිතා කල ජනාධිපති මන්දිරයේ මුලුතැන්ගෙය යැයි සඳහන් කරමින් විදේශ රටක මුලුතැන්ගෙයක වීඩියෝවක් සමාජගත කර තිබෙනවා., එවැනි තොරතුරු වල සත්‍ය අසත්‍ය භාවය නිසිලෙස වටහාගත නොහැකි අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින් විසින් එය සමාජජාල මාධ්‍ය තුල හුවමාරු කරමින් සිටිනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය භාවිතා කරනු ලැබුවේ දේශීය සහ විදේශීය නිල රාජකාරිමය අවස්ථාවන් හිදී පමණයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වික්‍රමසිංහ මහත්මිය වාසය කලේ ඔවුන්ගේ පුද්ගලික නිවසේ බවත් සඳහන් කළ යුතුයි.
ඒ වගේම ජනාධිපති මන්දිරයේ නිල උත්සව අවස්ථාවන් වලදී පැමිණෙන අමුත්තන්ට දේශීය ආහාරපාන වලින් සංග්‍රහ කිරීම සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගනු ලැබුවේ ජනාධිපති මන්දිරයේ සේවය කරන සූපවේදීන්ගේ උපදෙස් මත දේශීය සැපයුම්කරුවන් මාර්ගයෙන් වන බවත් අවධාරණය කළ යුතුයි.
කිසිදු අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හෝ වික්‍රමසිංහ මැතිණියගේ අවශ්‍යතාවයන් මත මුද්‍රිත ආහාර වට්ටෝරු, විදේශීය සුඛෝපභෝගී ආහාර පිළියෙල කිරීම හෝ විදේශීය සූපවේදීන්ගේ සේවය ලබාගැනීම සිදුකර නොමැති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන අසත්‍ය ප්‍රකාශයන් මුලුමුනින්ම දේශපාලන වෛරයක් පිරිමහගැනීම සඳහා කරනු ලබන පහත් ගණයේ මඩ ප්‍රකාශයක් පමණක් බවත් මා සඳහන් කරනවා.
ශ්‍රී ලංකාව මුහුණ දුන් අසීරුතම අවස්ථාවකදී වගකීමෙන් පළා නොයා දැවැන්ත අර්බුදයකින් රට ගොඩගත් නායකයාගේ චරිත ඝාතනය සඳහා දියත්කර ඇති පහත් පෙළේ මඩ ව්‍යාපාරය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපි අතිශය කණගාටුවට පත්වන අතරම, මේ රටේ ජනතාවට සත්‍ය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න පිළිබඳව වටහාගැනීම සඳහා වන විචාර බුද්ධිය ඇතැයි අපි විශ්වාස කරනවා.
ඒ වගේම මඬ ගහමින් කාලය කා දමන්නේ නැතුව තමන් ලද ජනවරම ප්‍රකාරව රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කැපවීමෙන් ක්‍රියාකරන ලෙස අප වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
රුවන් විජේවර්ධන
නියෝජ්‍ය නායක – එක්සත් ජාතික පක්ෂය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *