රුපියල නගින විට පාරිභෝගිකයන්ට ලැබෙන වාසි අවාසි

රුපියලේ අගය ශක්තිමත් වීම මෑත භාගය තුළ නිරීක්ෂණය කළ හැකි මූල්‍ය පෙරළියකි. 2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතිකය හැසිරී ඇති ආකාරය අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට හතකින් ශක්තිමත් වූ අතර අද වන විට සියයට 8.4 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරයි. ආර්ථික අර්බුදයකට පත්ව තිබුණු රට නැවත පත්ව ඇති මෙම වාසිදායක ස්ථානය ඉදිරියේ සාමාන්‍ය ජනතාවට දැනෙන පරිවර්තනයක් අපේක්ෂා කළ යුතුය. කෙසේ නමුත් වෙළෙඳපොළ හැසිරීම අනුව රුපියල ශක්තිමත් වීම පාරිභෝගිකයන්ට නොලැබෙන නමුත් විදේශ වෙළෙඳාම හා සේවා සඳහා අයහපත් පසුබිමක් නිර්මාණය කර ඇත.

විදේශ විනිමය සංචිත වර්ධනය වීම රුපියලේ අගය සඳහා බලපා ඇති සාධකයකි. සංචිත දියුණු වන අතර විනිමය සඳහා ඉල්ලුම තරමක් පහත වැටී තිබේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6 ක් වන සංචිත මෙරට මාස දෙකක පමණ ආනයන සඳහා ප්‍රමාණවත් වේ. මෙම ස්වභාවය ආර්ථිකය ස්ථාවර කර ඇති ලක්ෂණ දක්වයි. ආර්ථිකය ස්ථාවර කරන ලද නමුත් වර්ධනයක් ඇති කරන තීන්දු ගැනීම අවශ්‍ය බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන තවත් වැදගත් කරුණකි.

පහළටම වැටුණු රුපියල අද ඇති තැන

බ්ලූම්බර්ග් වෙබ්අඩවිය වසර දෙකකට පෙර වාර්තා කළ පරිදි ශ්‍රී ලංකාවේ රුපියල ලෝකයේ වඩාත්ම පිරිහීමට පත් මුදල වශයෙන් ඉතිහාසයට එක්ව තිබුණි. 2023 වසරේ ජනවාරි වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් හාරසියයකට ළඟා විය හැකි බව ප්‍රකාශ කෙරිණ. එම පුරෝකථන වෙනස් වී ඇත. 2022 වසරේ අගෝස්තු මාසයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 44.5 ක අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ රුපියල අද වන විට අවුරුද්දකට කලින් තිබුණු තත්ත්වය පරාජය කොට සියයට 8.4 ක ශක්තිමක් බවක් දක්වයි.

රුපියලේ අගය පිරිහී ගිය පසු මෙරටට ආනයනය කරන සියලු දේ මිල ඉහළ ගියේය. බෙහෙත් වර්ග, පිටරටින් ගෙන්වන ලද අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස්, කර්මාන්ත උපකරණ හා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය එහිදී කැපී පෙනිණි. රුපියල් තුන්සිය අසූවක පමණ මිලක් ගෙවා ඩොලර් ලබාගෙන ගෙන්වන දේ අඩු මිලට සැපයිය නොහැකි බව ව්‍යාපාරිකයෝ අවධාරණය කළහ. නමුත් අද එම වාසිය පොදු ජනතාවට ලැබී නැත. ආනයන භාණ්ඩවල මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකි වේ. මූල්‍ය වෙළෙඳපොළ වාර්තා දක්වන පරිදි ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 310.00 ඉක්මවන්නේ නැත. ඩොලර් එකක් වටිනා ආනයනික භාණ්ඩයකින් රුපියල් පනහක් හැටක මිලක් පහසුවෙන් අඩු කළ හැක. අඩුම තරමින් රෝගීන්ට නියම කරන ඖෂධ මිල හෝ අඩු නැත.

පාරිභෝගික අධිකාරිය, නියාමන අංශ වෙළෙඳපොළ හැසිරෙන ආකාරය ගැන අවධානය යොමු කළ යුතු වේ. ප්‍රධාන පෙළේ ආනයනයකරුවන් දක්වන පරිදි රුපියල ශක්තිමත් වූ පමණින් ආනයනික දේ මිල අඩු කළ නොහැක. ආනයනික බදු, ප්‍රවාහන පිරිවැය, වැටුප්, විදුලිය ගාස්තු යනාදී වශයෙන් සෙසු පිරිවැය ද භාණ්ඩ හා සේවා මිල තීරණය කිරීමේ දී සලකා බැලිය යුතු වේ.

සංචාරක ආදායම රුපියල ශක්තිමත් කර නැත

මූල්‍ය විශේෂඥයන් පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවට එන සංචාරක පිරිස ඉහළ ගොස් ඇති අතර මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ විනිමය උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. සංචාරක ආදායම රුපියල ශක්තිමක් කිරීමට හේතු වී නැති අතර එය වක්‍ර බලපෑමක් බව සඳහන් වේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට කරන ඉන්ධන ආනයනය පහත වැටීම මෙරට විනිමය ඉන්ධන ආනයන වියදම කපා හරින්නට හේතු වී ඇත.

ඛනිජ තෙල් සංස්ථා වාර්තා අනුව 2024 පළමු කාර්තුවේ තෙල් ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 648.4 කි. පසුගිය වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ එය ඇමෙරිකානු ඩොලර් මිලියන 824.4 ක්ව තිබුණි. අධික මිල හේතු කොටගෙන ඉන්ධන පරිහරණය තරමක් පහත වැටී ඇත. විදුලිය නිපදවීම සඳහා දැවි තෙල් භාවිත කිරීම අඩු වී තිබේ. බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වැසි හේතු කොටගෙන ජල විදුලිය ඇතුළු පුනර්ජනනීය විදුලිය උත්පාදනය සමස්තයෙන් සියයට 58.3 ක් දක්වා ඉහළ නැග ඇත. ඛනිජ තෙල් භාවිතය අඩුවීම තුළ ආනයන වියදම පහත වැටී තිබේ. ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ඉන්ධන ආනයන ක්‍රමවේදය වෙනස් කිරීම ද රුපියල කෙරෙහි ඍජු බලපෑමක් ඇති කර තිබේ. ඉන්දියන් ඔයිල් හා සයිනොපැක් යන සමාගම් ගෙන්වන ඉන්ධන ප්‍රමාණය රජයේ මෙහෙයුම්වල බර අඩු කර ඇති බව දක්වයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිවැරදි කිරීම් අනුව පනවන ලද බදු හේතු කොටගෙන ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව සීමා වී ඇති අතර එය ආනයන අඩු කරන සාධකයකි. 2022 වසරේ දී ශ්‍රී ලංකාව ආනයන භාණ්ඩ වර්ග තුන්සිය ගණනක් ගෙන්වීම පාලනය කරන ලද අතර රථවාහන හැරෙන්නට අනෙක් සියලු දේ නැවත ආනයනයට ඉඩ දී තිබේ. නමුත් ගෙන්වීම අඩු අතර එයට හේතුව ඉල්ලුම අඩුවීම බව දැක්වේ. එය හේතු කොටගෙන ආනයනකරුවන්ගේ ඩොලර් මිල දී ගැනීම පහත අතර එය රුපියල ශක්තිමත් කරන තවත් සාධකයකි.

අපනයනවලට අත්පත් වන ඉරණම

විනිමය අනුපාතිකය සලකා බලා රුපියල ශක්තිමත් වීම වාසිදායක නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් අපනයන අංශවලට එල්ලවන පීඩනය නොසලකා හැරිය යුතු නැත. විශේෂයෙන් ඇඟලුම් අපනයනයට අවාසි සිදු වී තිබේ. ලෝකයේ අනෙක් රටක මිල සමඟ සසඳන පසු මෙරට නිෂ්පාදන මිල ඉහළ තැනක පවතී. එය ඇඟලුම් පමණක් නොව තේ, රබර් ඇතුළු කෘෂි නිෂ්පාදන අපනයනයේ දී ද බාධාවකි. මෑත කාලය තුළ තොරතුරු ආශ්‍රිත කර්මාන්තවල හා සේවා අංශවල අපනයනය දියුණු වූ අතර එය ද තර්ජනයකට ලක්වනු ඇත. විනිමය අනුපාතිකය ශක්තිමත් වීම සුදුසු නමුත් එය අනෙක් පැත්තකින් ඇති කරන බලපෑම ද සලකා බැලීම වටී.

මෙහිදී විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිදුවන අවාසිය ද අමතක කළ යුතු නැත. ලක්ෂ තිහක පමණ පිරිසක් විදේශගත රැකියාවල නිරතය. ඔවුහු නිතිපතා සිය පවුල්වලට මුදල් ප්‍රේෂණය කරමින් සිටිති. පසුගිය කාලයේ ඩොලර් එකකට ලැබුණු මිලට වඩා අඩු අගයක් අද අතට ලැබුණු පසු එම පවුල්වලට සැලකිය යුතු පාඩුවක් බව දැක්විය යුතු වේ. මෙකී පාඩුව සලකා බලන විදේශගත පිරිස තමන්ගේ ප්‍රේෂණ යම් ප්‍රමාණයකින් ප්‍රමාද කරන අවදානමක් ද ඇත. එය මෙරට සංචිත කෙරෙහි පීඩනයක් ඇති කරන සාධකයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අංශ තේ, ඇඟලුම්, කුළුබඩු හා තොරතුරු තාක්ෂණ අංශය උපයන විනිමය ද ප්‍රමාද සහිතව රටට ගෙන්වන්නට ඉඩ ඇත. අධික බදු, මෙහෙයුම් අවාසි සලකා බලන ඇතැම් කර්මාන්ත වෙනත් රටවලට සිය මූලස්ථාන ගෙන යන ප්‍රවාණතාවයක් ද වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකය සකස් කරන සැලැස්මක සිටින මූල්‍ය අරමුදල පවා දිගින් දිගටම සිදුවන රුපියල ශක්තිමත් වීම තුළ සැලකිය යුතු ආර්ථික අවාසි ඇති කරන්නට හේතු විය හැකි බව දක්වා ඇත.

තුලිතව තබාගැනීමේ වගකීම

වාණිජ බැංකු අභ්‍යන්තර තොරතුරු දක්වන පරිදි විනිමය අනුපාතිකය හේතු කොටගෙන පත්ව ඇති වාසියෙන් ප්‍රයෝජන ගන්නා ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය එකතු කරමින් සිටී. විදේශ මුදල් තබාගත හැකි සීමා පනවන මහ බැංකුව ඒවා රුපියල් ගෙවා එකතු කර ගන්නා අතර එය අනාගත ආරක්ෂාව අරමුණ ඇති සිද්ධාන්තයක් බව පෙනේ. කෙසේ වෙතත් දැනට ඇති රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත්වීමකින් තොර බව දක්වන නමුත් විනිමය අනුපාතය සම්බන්ධයෙන් පැවරෙන වගකීම සුළු පටු නොවේ. දැනට ශක්තිමත් වී ඇති රුපියලේ අගය හේතු කොටගෙන දේශීය ආර්ථිකයට වාසි ලැබෙන විනිවිද පෙනෙන ක්‍රමවේද ඇති කළ යුතු හා පරිදි ඉදිරියේ දී වේගයෙන් අවප්‍රමාණය වුවහොත් අනුගමනය කරන පිළිවෙළ ද කල් තබා තීරණය කොට තැබීම සුදුසුය.

විශේෂයෙන් නුදුරු කාලයේ දී මෙරට විදේශ ණය ආපසු ගෙවීමේ කටයුතු ආරම්භ කරන්නට සිදුවනු ඇත. මැදිහත්කරුවෝ විදේශ ණය ආපසු ගෙවන ක්‍රමවේද යෝජනා කර ඇති අතර සංවර්ධන බැඳුම්කර මිල දී ගත් විදේශිකයන් සහ විදේශ රටවල් අඩු පොලී අනුපාත සහ ඇතැම් කොටස් කපා හැර තමන්ගේ ණය ආපසු ලබාගැනීමට සූදානම්ව සිටිති. මෙම ණය ආපසු ගෙවීම සඳහා විනිමය මෙරට සංචිතවල කොටසක් වන අතර ඉදිරියේ දී සැලකිල්ලට ගත යුතු අංශයකි. වාර්තා දක්වන පරිදි වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ මුදලක් ආපසු ගෙවන්නට සිදුවිය හැකිය. විනිමය අනුපාතිකය සාධාරණ මට්ටමක පවත්වා ගැනීමට සහ ප්‍රතිඵලයක් වශයෙන් රටට හා සමාජයට සිදුවන වාසි හා අවාසි දෙපැත්තට ගණන් බලා යුක්ති සහගත තීරණ ගත යුතු වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *