ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අතුරු තහනම් නියෝයක් නිකුත් කර තිබෙනවා.
ස්වභාවික හා සංස්කෘතික අධ්‍යයනය කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මීට පෙර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙස්සමකට අදාළව ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය මේ කරුණු දක්වමින් ලියාපදිංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධීන්වලට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවට අදාළව වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අලි ඇතුන් මුදාහැරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූ බවයි.
එවැනි නියෝගයක් නිකුත් කර තිබියදී අදාළ අලි ඇතුන් මුදිහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම අලි අයිතිකරුවන්ගේ හිමිකරුවන් බව කියන පුද්ගලයින් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් එය නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම කරුණට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විභාගය වහාම අත්හිටුවීමට නියෝග කළ අතර මහේස්ත්‍රාත් අධිකරණයේ තිබෙන මෙම නඩුකරයට අදාල නඩු ගොනුව වහාම ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගන්නා ලෙස නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව මෙම නඩුකරයට අදාළව ඉදිරි පියවර කිසිවක් නොගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා.
එසේම මෙම නඩුකරයට අදාළව මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ සියලු නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තවත් නියෝගයක්ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.