විස්සයි විස්ස ලෝක කුසලානයට එන කිවියන් පහළොස් දෙනා මෙන්න

එළඹෙන ජුනි මාසයේ පැවැත් වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කිරීමට නියමිත නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

සිය ක්‍රිකට් දිවියේ හය වැනි වතාවටත් විස්සයි විස්ස ලෝක කුසලානයක් සඳහා සහභාගි වන විලියම්සන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලි සඳහා නායකත්වය දරණ සිව් වැනි අවස්ථාවයි.

විලියම්සන්ගේ නායකත්වයෙන් තරග වදින නවසීලන්ත කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් රැසක් සිටින අතර එහි ප්‍රමුඛ ස්ථානයක් වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුතිට හිමිවනවා.

මේ අතර එම සංචිතයට අත්දැකීම් බහුල වේග පන්දු යවන්නෙකු වන ට්‍රෙන්ට් බෝල්ට්ව ද කැඳවා ඇත්තේ, ඔහුගේ පස්වැනි විස්සයි විස්ස ලෝක කුසලානයට ද ක්‍රීඩා කිරීමේ වරම් හිමි කර දෙමින්.

මෙම සංචිතය සඳහා ඉකුත් 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නිරත වූ නවසීලන්ත කණ්ඩායමේ 15 දෙනාගෙන් 13 දෙනෙකු ම නම් කර ඇති අතර, සිය මංගල විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා තරග කරන පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි සහ පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩක රචින් රවීන්ද්‍ර නම් කිරීමටයි නවසීලන්ත තේරීම් කමිටුවකටයුතු කොට ඇත්තේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස් එක් කරගෙන තිබෙනවා.

කෙසේ නමුත් වළලුකර ආබාධයකින් පෙලෙන ඇඩම් මිල්නේ මෙම සංචිතයට සලකා බලා නැති අතර ආබාධයකින් පෙලෙන කයිල් ජේමිසන් ද සංචිතයට කැඳවා නැහැ.

මෙම තත්ත්වයන් සමග එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතය වන්නේ, කේන් විලියම්සන් (නායක), ෆින් ඇලන්, ට්‍රෙන්ට් බෝල්ට්, මිචෙල් බ්‍රාස්වෙල්, මාක් චැප්මන්, ඩෙවෝන් කොන්වේ, ලොකී ෆර්ගියුසන්, මැට් හෙන්රි, ඩැරිල් මිචෙල්, ජිමී නීෂම්, ග්ලේන් පිලිප්ස්, රචින් රවින්ද්‍රා, මිචෙල් සැන්ටර්, ඉෂ් සෝධි, ටිම් සවුති, බෙන් සියර්ස් (අතිරේක)

මේ අතර නවසීලන්ත කණ්ඩායම මෙවර ලෝක කුසලානය සඳහා පළඳින සිය නිල ඇඳුමේ පැහැය වෙනස් කර ඇති අතර, මින් පෙර නවසීලන්ත කණ්ඩායම පැළැඳි කළු හෝ අලු වර්ණයෙන් බැහැර වී ඔවුන් 1999 වසරේ පැවැති ලෝක කුසලානයේ දී පැලැඳි නිල ඇඳුමේ වර්ණයට සමාන පැහැයක් ගෙන තිබීම ද විශේෂත්වයක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *