“සනත් නිශාන්තගේ බිරිඳ අපේ වැඩවල වගකීම කරට අරගැනීම දැවැන්ත ශක්තියක්”

ජනාධිපතිවරණය වෙනුවෙන් සනත් නිශාන්තගේ ආදරණීය බිරිඳ වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) හලාවත, ආරච්චිකට්ටුවේ දී පැවැති ජනරැලිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ “ අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ. අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. පුත්තලම දිස්ත්‍රිකක්ය අපිට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා. ඒ මහතා ධීවර ඇමැතිවරයා කාලයේ විශාල වැඩකොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් හම්බන්තොට දිස්ත්‍රික්කය වගේ බොහෝ දුරට සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා. එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි. අපිට වුවමනාව තිබුණා. මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා. ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න අපිට අවශ්‍ය වුණා.

රාජ්‍ය සේවයේ ගෞරවය අරක්ෂා කරනවා සේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් සැබෑ පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒක වගකීමෙන් කරනවා. අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක මේ රටේ සිදුව නැහැ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු 10 තුළ බිලියන 80, 85 ආර්ථිකය බිලියන 185 දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වන්නේ. ඒ තුළ තමයි මිනිසුන්ගේ අතට සල්ලි යන්නේ. ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙල සමඟ අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ සමඟ ගොඩනැඟුණු දේශපාලන බලවේගයයි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුර” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *