සාමාන්‍ය පෙළ විභාගයෙන් ICT අයින් කිරීම ගැන විපක්ෂනායකවරයාගේ විරෝධය

සාමාන්‍ය පෙළ විභාගයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විරෝධය පළ කර තිබෙනවා.

එහිදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද (23)පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පළකළේ මෙලෙසින්.

”අපි දෙසිය විසිපහම එකඟ වෙනවා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට මුල්තැන දෙන්නට ඕනෙයි කියන කාරණාවට. ඒ වගේම අපි පිළිගන්නවා සෞන්දර්ය කේන්ද්‍රීය අධ්‍යාපනයටත් අපි මුල්තැන දෙන්නට ඕන. හැබැයි ඔබතුමා දන්නවද දෙදාස් හය වසරේ සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කරපු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය පළමු වරට සාමාන්‍ය පෙළට සම්බන්ධ කළේ දෙදහස් හයේ. හැබැයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කරනු ලබන ප්‍රධාන විෂයන් හත සඳහා එක් කරලා නැහැ. ඒ කියන්නේ ඕ ලෙවල් අයි සී ටී ඉවත් කරලා. ඕ ලෙවල් ඉන්ෆොමේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඉවත් කරලා.

අගමැතිතුමනි මොකක්ද මේ අමනෝඥ ක්‍රියාවක්ද? මොන මෝඩ ක්‍රියාවක්ද? අපි හැමෝම කතා කරනවා ඩිජිටල් ශ්‍රී ලංකා, තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කරන ලංකාව. හැබැයි යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කොහොමද අයි සී ටී ඉවත් කරලා තියෙන්නේ ඕලෙවල් විෂයක් හැටියට.

එතකොට මේ ප්‍රතිසංස්කරණවලට අනුව ඇගයීම් මණ්ඩල හරහා පමණක් විෂය තෝරා ගන්නා සිසුන්ගේ ඇගයීම් සිදු කරන බවටත්. එය සාමාන්‍ය විභාග සහතිකයටත් ඇතුලත් නොකිරීමටත් තීන්දු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

මම අහන්න කැමතියි රජය හිතන්නැද්ද මේ ඩිජිටල් යුගයේ මේ දැවැන්ත පරිවර්තනාත්මක තාක්ෂණ යුගයක් ක්‍රියාත්මකවන මොහොතක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය මේක විභාගයකට ලක්විය යුතු ඕ ලෙවල් විභාගයට ලක්විය යුතු විෂයක් කියලා ඔබ හිතන්නේ නැද්ද? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් මේක කරුණාකරලා ඇතුලත් කරන්න.

අනිත් එක ඔබතුමා දන්නවාද දන්නේ නැහැ මේ සෞන්දර්ය ක්ෂේත්‍රයත් ඉවත් කරලා. දැන් මේ සෞන්දර්ය විෂය ඉවත් කිරීම සංවේදී ශිෂ්‍යයෙකු, මානව හිතවාදී, ජනතාවාදී, ජනහිතකාමී, තෙතමනයක් තියෙන පුරවැසියෙක් නිර්මාණය කරන්නට ඉවහල් වෙන විෂයක්. ඒකත් ඉවත් කරලා. එහෙම කොහොමද කරන්නේ? කවුද මේ අමනෝඥ තීන්දු ගන්නේ?

එක පැත්තකින් තොරතුරු තාක්ෂණ විෂය ඉවත් කරනවා. තවත් පැත්තකින් සෞන්දර්ය විෂය ඉවත් කරනවා. ඉතින් මම දන්නවා අගමැතිතුමා මේවා ඉතින් ඔබතුමන්ලා ඉන්න සභාවල ගත්තු තීන්දු. ඔබතුමා අධ්‍යාපන ඇමතිතුමා නොවුණත් මොන පදනමක් මතද ඉන්ෆොමේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඕලෙවල්වලින් ඉවත් කරේ.

සෞන්දර්ය විෂය කොහොමද ඉවත් කරේ? කවුද දුන්නේ උපදෙස්? මොන තීන්දුවක් මතද? මොකද සෞන්දර්ය විෂය සුන්දර ශිෂ්‍යයා, සුන්දර පුරවැසියා, සුන්දර තාරුණ්‍ය නිර්මාණය වෙන්නට බොහෝ සේ ඉවහල් වෙලා. ඉතින් කරුණාකරලා මම මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා අයි සී ටී ඉවත් කිරීම, ඉන්ෆොමේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි, තොරතුරු තාක්ෂණ විෂය ඕ ලෙවල් සබ්ජෙක්ට් එකකින් ඉවත් කිරීම සහ සෞන්දර්ය විෂය ඉවත් කිරීම ගැන නැවතත් රජයේ අවධානය යොමු කරලා මේ අමනෝඥ ක්‍රියාව, මේ මෝඩ ක්‍රියාව ක්‍රියාත්මක කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *