හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දඹුල්ල ජනරැළිය.

පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී පැවසීය.
ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය ලබා දුන්නොත් පමණක් බවද සඳහන් කළේය.
එම ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ රෝහණ දිසානායක මන්ත්‍රීවරුන් පැය 24 ක් ඇතුළත මේ ශාලාව ජනතාවගෙන් පුරවා තිබෙනවා. අද තිබෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයක්. අපගේ පාර්ලිමේන්තුව පිළිබඳව අප ආඩම්බර විය යුතුයි.ආසියාවේ පරණම පාර්ලිමේන්තුව වන්නේ අපගේ පාර්ලිමේන්තුවයි.ආසියාවේ සහ අප්‍රිකාවේ ස්වර්ව ජන චන්දයෙන් තෝරා ගෙන තිබෙන වැඩිම ඉතිහාසයක් තිබෙන පාර්ලිමේන්තුව අපයි.1935 වසරේ සුදු ජාතිකයන් විසින් අපගේ මේ පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කළා.එය හැඳින්වූයේ ව්‍යවස්ථාදායක සභාව නමින්.අප රාජ්‍ය මන්ත්‍රණ සභාව හැටියට සර්ව ජන චන්දයෙන් වැඩකර තිබෙනවා.කිසි දිනක අපි පාර්ලිමේන්තුව වසා දමා නැහැ.ආසියාවේ එක දිනක්වත් හාර්ලිමේන්තුව නතර කරන්නේ නැතිව පාර්ලිමේන්තුවේ පක්ෂ තහනම් කරන්නේ නැතිව,ඉදිරියට ගොස් තිබෙන එකම පාර්ලිමේන්තුව වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි.
අපගේ ක්‍රමය අනුව පාර්ලිමේන්තුවේ පළපුරුදු අය මෙන්ම පරණ අයත් සිටිය යුතුයි.කාලයක් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටිය යුතුයි.
මා ජනාධිපති වූ විට මේ රට ආරක්ෂා කිරීම සඳහා පක්ෂ බේදයෙන් තොරව කණ්ඩායමක් මට එකතු වුණා.ඒ පිරිස දැන් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා.
බහුතරය ලබාදිය යුත්තේ මේ පලපුරුදු කණ්ඩායමට බව මා ජනතාවට කියනවා.අනුර සරණං ගච්ඡාමි, හරිනි සරණං ගච්ඡාමි,විජිත සරණං ගච්ඡාමි කියන්න එපා.අප ඉන්නේ ඉදිරියට යාමටයි.
පළමුවෙන්ම මේ මැතිවරණයේදී තිබෙන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමයි.පාර්ලිමේන්තුවෙන් සියයට සියයක් ලබා දෙන්නැයි අනුර දිසානායක ජනපති පවසනවා.සියයට 42 ක් තියෙන මිනිහාට සියයට සියයක් දෙන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නෑ.මෙයා ගණිතය ඉගෙන ගත්තේ කොහෙන්ද?මේක හරි පුදුම කතාවක් නේ.
ඉස්සර කොමියුනිස්ට් රටවල් ඡන්දෙ තිබ්බා වගේ.විපක්ෂය ඉවත් කරලා තමන්ගේ කොටස වැඩි කර ගත්තා.ඔහොම ක්‍රමවේද අපට කරන්න බෑ.සියයට 42 නම් ඒ ගාන තමයි.ඊට අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ.අනෙක මේ දාලා තියෙන අපේක්ෂකයෝ කවුද?
මේ රටේ ව්‍යවස්ථාවේ තුන්වන හතරවන වගන්ති යටතේ පරමාධිපත්‍යය තිබෙන්නේ ජනතාවටයි.
ඡන්ද බලය එහි එක කොටසක්.ජනාධිපතිවරණයේදී තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ලබා දී ඡන්ද බලය ලබාගන්නවා.පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන් කැමති පක්ෂයට ඡන්දය දී ඉන් පසුව තමාට මනාප තුනක් තිබෙනවා.යුරෝපයේ රටවල් ගණනාවක ඒ ක්‍රමය තිබෙනවා.
මාලිමාව කියන්නේ මොකක්ද? පක්ෂයට ඡන්දය දෙන්නලු මනාප ගැන කියන්නේ නැහැ.එසේ නම් ඔවුන් නොකියා කියන්නේ කුමක්ද?පක්ෂය තෝරන බලය ජනතාවට දෙනවා.අපේක්ෂකයා තෝරන බලය ටිල්වින් සිල්වා මැතිතුමාට සහ දේශපාලන මණ්ඩලයට ලබා ගන්නවා.මේක ප්‍රජාතන්ත්‍රවාදයද?අපේක්ෂකයා තෝරන ජනතාව සතු බලය ටිල්වින් සිල්වා ගන්නේ කොහොම ද?
තමන් කැමති තුන්දෙනෙක්ට ඡන්දය ලබා දීමට තමන්ට අයිතියක් තිබෙනවා.පාර්ලිමේන්තුවට ගිහින් තමන් නියෝජනය කිරීමට හැකි පුද්ගලයා ගැන දන්නේ ජනතාවයි.මේ පවතින ක්‍රමය ඇති කර තිබෙන්නේ සුදුස්සා තෝරා පත් කර ගැනීමටයි.
පාර්ලිමේන්තුව හොර ගුහාවක්ලු.එහෙම කතාවක් කියන්න එතුමාට අයිතිය දුන්නේ කවුද?ඔවුන්ගේ ප්‍රතිශතය සියයට 42යි.පාර්ලිමේන්තුව ගැන විශ්වාසය තිබෙන බව සියයට 58ක ජනතාවක් පවසා තිබෙනවා.
පාර්ලිමේන්තුවට අතගහන්න ඔබතුමාට තිබෙන අයිතිය මොකක් ද?මාලිමාවට තිබෙන අයිතිය මොකක්ද? ජනාධිපති පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි.එවන් ස්ථානයක් හොර ගුහාවක් යැයි ජනාධිපති කියන්නේ කොහොමද?
කෙහෙළිය ඉවත් කිරීම සඳහා 2023 වසරේ යෝජනාවක් ඉදිරිපත් කළාලු.ඒ ගැන පාර්ලිමේන්තුව ක්‍රියා කළේ නැතිලු.හොර ගුහාවක් කියන්නේ ඒකලු.
2023 වසරේ ජුලි මාසයේදී කෙහෙළිය ඇමතිතුමාට විරුද්ධව කාවින්ද මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. නමුත් ඊට පසුව අගෝස්තු 31 වැනිදා එතුමා ගිහින් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දැම්මා.හොරා ද? නැද්ද? කියා ඒ නඩුව විසින් තීරණය කළ යුතුයි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි පාර්ලිමේන්තු විවාදය නතර කරන්නට අප කටයුතු කළේ නෑ.අප සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව අපට තීරණයක් දිය හැකි බවයි.ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් පසු මේ විවාදය ගන්නා ලෙසත් අප පැවසුවා.එය නීත්‍යානුකූල ක්‍රමයක්නේ.යම් සිද්ධියක් ගැන උසාවියට ගියොත් පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ එම තීන්දුව ලබාගෙනයි.
ඔය අතරතුරේ නීතිපතිතුමා ගිහින් කෙහෙලිය ඇමතිතුමාටත් විරුද්ධව නඩු දැම්මා.කාට විරුද්ධව ද නඩු දමන්නේ කියා මට අහන්න තිබුණා.මේ සම්බන්ධයෙන් මට පරීක්ෂා කරන්න අවශ්‍යයි කියන්න තිබුණා.මා ඒ කිසිවක් කරන්න ගියේ නැහැ.
නීතිපතිවරයා විසින් නඩු පැවරූ පසුව මා ජනාධිපතිවරයා ලෙස කෙහෙළිය ඇමතිතුමා කැඳෙව්වා.මෙය වැරදි චෝදනාවක් බවත් තමාගේ නම මෙයින් ඉවත් කරන ලෙස නීතිඥවරුන් ලවා අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් රඹුක්වැල්ල මහතා මට පැවසුවා.එතුමා එවැනි ඉල්ලීමක් කරනවා නම් ඉවත් වන්නේ කියන්නට මට හැකියාවක් නැහැ.මොකද එතුමාගේ නම නඩුවෙන් ඉවත් කළොත් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න හැකියාවක් නැහැ.
එතුමා ගිහින් අධිකරණයෙන් ඉල්ලීම කරන විට මහේස්ත්‍රාත්තුමිය කෙහෙළිය ඇමතිතුමා රිමාන්ඩ් භාරයට පත් කළා.අනතුරුව ඔහු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මට එව්වා.
අප ක්‍රියා කළේ ඕනෑම රටක තිබෙන සම්ප්‍රදාය අනුවයි.
පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි රටේ බහුතරයක් කියන්නේ නැහැ.හැබැයි පාර්ලිමේන්තුවේ වැරදි කරන අය ඉන්නවා .ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතුයි.ඒවාට විරුද්ධව ක්‍රියා කිරීම සඳහා නීති ගෙනෙන්නැයි අප පැවසුවා.
අපගේ දූෂණ විරෝධී න්‍යාය පත්‍රයේ එම නීති තිබෙනවා.එහෙම නීති ඉදිරිපත් කළේ මාලිමාව නොවේ මමයි.එක්සත් රාජධානියේ තිබෙන නීති පද්ධතිය ගෙනෙන ලෙස එයින් මා යෝජනා කර තිබෙනවා.ඒ වැරදි කරන මන්ත්‍රීවරුන් ඉවත් කිරීම සඳහායි.
උසාවියෙන් හෝ අධිකරණයේ විනිශ්චකාරවරුන්ගෙන් සැදුම්ලත් කොමිසමකින් වැරදිකරුවන් යැයි නිගමනය කළහොත් එම පුද්ගලයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කළ හැකි නීති අප ඉදිරිපත් කර තිබෙනවා.තුනෙන් දෙකක ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් එම නීති අනුමත කළ හැකියි.
අප මේ පිළිබඳව කතා කරගෙන යනවා.
කිසිම වරප්‍රසාදයක් අවශ්‍ය නැතැයි දැන් කියනවා.මෙවැනි දෙයක් කරන්නේ මොන රටේද?
චිත්‍රසිරි කමිටුව පත් කරන බව එක් වතාවක කියනවා.පසුව එය ඉවත් කරන බව කියනවා.1977 වසරේ සිට මහත් පාර්ලිමේන්තුවේ සිට තිබෙනවා.දැන් පාර්ලිමේන්තුවේ නැති නිසා මම ඒ පිළිබඳව චිත්‍රසිරි කොමිටියට ලිපියක් එව්වා.
මන්ත්‍රීවරුන්ට යම්කිසි වේතනයක් දෙන්න තිබෙනවා.හැම රටේම එය ලබා දෙනවා.කාර්යාලයට වෙනම වේතනයක් ලබා දෙනවා.
ඕස්ට්‍රේලියාව වැනි රටක එක කොනක සිට තවත් කොනකට එනවා නම් පාර්ලිමේන්තු සතිය සඳහා ගුවන් බලපත්‍රයකුත් දෙනවා.ඉන්දියාව කැනඩාව ,ඇමෙරිකාව වැනි රටවලත් එවැනි දේ සිදුවෙනවා.එවැනි දේ අප රටේ දිය යුතු යැයි මා කියන්නේ නෑ.පුළුවන් නම් අපට උතුර සහ නැගෙනහිර අයට එය දිය හැකියි.ඉස්සර එය අප ලබා දුන්නා. නමුත් දැන් එලෙස සේවයක් නැහැ.
එක්සත් රාජධානිය, ඇමරිකාව වැනි රටවල තමන්ගේ වියදම් ද මන්ත්‍රීවරුන්ට ලබා දෙනවා.
සමහර රටවල පක්ෂයෙන් වත් මන්ත්‍රීවරුන්ට මුදල් දෙන්න බෑ.එය දැනුම් දිය යුතුයි මුදල් දිය හැක්කේ පක්ෂ සම්මේලනයට යන්න පමණයි.අප එවැනි තද ක්‍රමයක් ගෙන ආ යුතුයි.
මේ සුළුතර ජනාධිපති කෙනෙක්.සියයට පනස් අටක් මේ පවතින ක්‍රමයට කැමැත්ත පළ කර තිබෙනවා.
අප පාර්ලිමේන්තුව ආරක්ෂා කරගත යුතුයි.ඒ සම්බන්ධ යෝජනාවලියක් මම එව්වා. එය මා මාධ්‍යයට නිකුත් කරනවා.ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ යුතුයි .මෙවැනි සෙල්ලම් කළ යුතු නැහැ.
අනෙක හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස ඉවත් කරන බව කියනවා.මට නම් එහි ප්‍රශ්නයක් නැහැ.මම ඉන්නේ රජයේ නිවාසයක නොවේ. මේ අය කියන විදියට මගේ කජු කෑම,මගේ ආරක්ෂක නිලධාරීන්ට කූඩ 16ක් ලබාදීම නතර කිරීම, ආදිය නිසා කෝටි 120ක් ඉතිරි වී තිබෙනවා.
දැන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා මැතිනිය නිවසින් ඉවත් කිරීමට හදන්නේ කුමටද?එතුමියගේ ස්වාමි පුරුෂයා ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණෙන්.බෝම්බ ප්‍රහාරයකට ලක්වීම නිසා එතුමියට ඇසක් අහිමි වුණා.එතුමිය මට කිසි දිනක සහනය ලබාදී නැහැ.අපි දෙන්නා මෛත්‍රීපාර සිරිසේන මහතාට සහාය දෙන්නා පමණයි.නමුත් අප මනුස්සකමට සැලකිය යුතුයි.යුද්ධය අවසන් කළ නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධවත් සලකා බලන්න.අද එතුමා මිනිසුන් අතර ජනප්‍රිය නොවීම වෙන කාරණාවක්.ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා නම් එය සලකා බැලිය යුතුයි.තව කොපමණ කලක් ඉන්නද? වසර 25ක් ඉන්නවද?
අනෙක් අයගේ වරප්‍රසාද තිබෙන්න දෙන්න මගේ දේවල් ඉවත් කරන්න.
මම කියන්නේ පාර්ලිමේන්තුවට අත ගහන්න යන්න එපා.එහෙම කරනවා නම් ජන මත විචාරණයක් තිබිය යුතුයි.
කරුණාකර පොරොන්දු වූ දේවල් ඉටු කරන්න.පඩි වැඩි කරන්න.මේ පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්නට හැකියාව තිබෙන්නේ සිලින්ඩරයට ඡන්දය දුන්නොත් පමණක් යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *