අගමැතිනි ෂෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගන්නා බව පුත් ජෝයි කියයි

බංග්ලාදේශයේ අගමැති ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පැවසුවේ සිය මව නැවත දේශපාලනයට නොඑන බවයි.

මේ අතර, ඉරිදා සිට ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ දැයි කල්පනා කරමින් සිටි බවයි ඇයගේ උපදේශකවරයා ද වූ ඔහු කියා සිටියේ.

ඊයේ (06) අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී සිය ආරක්ෂාව සඳහා රටින් පිටව ගිය ඇය සිය දේශපාලන දිවියෙන් විශ්‍රාම ගන්නා බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම සිය මව වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසුවද සුළුතරයක් ඇයට එරෙහිව නැගී සිටීම ගැන ඇය කලකිරුණු බවයි ඔහු පවසන්නේ.

1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක් දීමට හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ඇරඹුණේ පසුගිය ජූනි මාසයේදී.

එම උද්ඝෝෂණ පාලනයට රජය දැඩි ලෙස බලය පාවිච්චි කළ අතර, උද්ඝෝෂණ අතරතුර විශාල පිරිසක් මියගියා.

පසුව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රජයේ තීරණය වෙනස් ක‍රමින් නි‍යෝගයක් නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව එරට තුළ උද්ඝෝෂණ තරමක් දුරට අඩු වුවත්, පසුගිය සතියේ උද්ඝෝෂණ නැවතත් ආරම්භ වූයේ දේශපාලන මුහුණුවරක් ගනිමින්.

එහිදී උද්ඝෝෂකයින් රජයට බලකර සිටියේ අගමැතිවරිය වහාම ධුරයෙන් ඉවත්විය යුතු බවටයි.

මේ අතර පෙරේදා (04) සහ ඊයේ (05) දිනය තුළ පැවති උද්ඝෝෂණවලින් 100කට ආසන්න පිරිසක් මියගිය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

දැඩි විරෝධතා හමුවේ ඊයේ (05) අගමැති ධුරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඇගේ සහෝදරියවන ෂෙයික් රෙහානා සමග අගමැති නිල නිවසේ සිට ඩකා ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි කුරුමිටෝලා ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරුව බංග්ලාදේශ අගමැතිවරිය රැගත් බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ලොක්හීඩ් C-130 හමුදා ගුවන් යානය ඊයේ (05) පස්වරුවේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ගාසියාබාද් ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දීය ගුවන් හමුදා කඳවුර වෙත පැමිණි බංග්ලාදේශ අගමැතිවරිය කඩිනමින් ලන්ඩන් දක්වා නැවත පියාසර කිරීමට නියමිත බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *