අතට ගත්ත රිදී පදක්කම දිනේෂ්ට ගිලිහුණු හේතුව

ජපානයේ දී පැවැති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් රිදී පදක්කම දිනා ගන්නට සමත් වුවත් පසුව එල්ල වූ විරෝධතාවක් සලකා බැලීමෙන් පසු එම පදක්කම ඔහුට අහිමි කරන්නට තරග සංවිධායකයින් විසින් පියවර ගැනුණා.

අදාළ තරගාවලියේ F46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි වී ඉන් රිදී පදක්කම දිනාගත්, දිනේෂ්ට එම පදක්කම අහිමිව ගොස් ඇත්තේ ඔහුගේ අතේහි තිබූ ආබාධය මේ වන විට සුව වී ඇති නිසාවෙන්.

ඒ අනුව ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා වෛද්‍ය කමිටු නිර්දේශ කර ඇත්තේ දිනූ පදක්කම දිනේෂ්ට අහිමි කිරීමට සහ මින් ඉදිරියට දිනේෂ් ප්‍රියන්තට F46 හෙල්ල විසිකිරීමේ කාණ්ඩයෙන් තරග වැදීම තහනම් කිරීමටයි.

මේ සම්බන්ධයෙන් ජාතික පැරාලිම්පික් කමිටුවේ සහභාපති විශ්‍රාමික ලුතිනන් කර්නල් දීපාල් හේරත් සඳහන් කළේ, දිනේෂ්ට ගෞරවාන්විත සමුදීමක් සිදුකර, ඉදිරියේ දී පුහුණුකරුවෙක් ලෙස සම්බන්ධ කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

එසේම මෙය කාගෙවත් වරදක් නොවන බවත් දිනේෂ්ට තරග වැදීමට නොහැකි වූයේ, ආබාධය සුව වීම හේතුවෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අදාළ තරගාවලියේ දී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායම යළි දිවයිනට පැමිණියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *