අද (30) දින සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවැසීය.

”අනුර දිසානායක ජනාධිපතිවරයා තමන්ගේ පාලන කාලයේ පළවෙනි මාසය පහු කරද්දී ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රධාන වේදිකාවන් තුනක් නිර්මාණය වුණා. පළමුවැන්න තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය. දෙවැන්න පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සමුළුව. තුන්වැන්න බ්‍රික්ස් රාජ්‍ය සමූහයේ නායක සමුළුව. මේ අවස්ථා තුන ආණ්ඩුව එක්කො මගහැරියා නැතිනම් ආණ්ඩුවට මගහැරුණා. අලුත් ආණ්ඩුවක් විදිහට මෙම සමුළු වලට සහභාගි වීම ජාත්‍යන්තරව ඔවුන්ගේ මතවාදයත් රටේ මතවාදයත් ශක්තිමත්ව තැන්පත් කරන්න තිබුණු අවස්ථාවක්. ආණ්ඩුවේ ජනාධිපතිවරයා හැරුණු කොට අගමැතිවරිය සහ තවත් ඇමතිවරයෙකු සිටින කුඩා ආණ්ඩුවක් තමයි වර්තමානයේ රට පාලනය කරන්නේ. ඒ බව අපි හොඳින් දන්නවා. නමුත් රාජ්‍ය නායකයා හෝ විදේශ ඇමතිවරයා සහභාගී විය යුතුම මේ ප්‍රධාන සමුළු තුන වෙනුවෙන් එකකට විදේශ අමාත්‍යංශයේ ලේකම්තුමිය , විදේශ අමාත්‍යංශයේ කනිෂ්ඨ ලේකම්වරයෙක් , සහ තානාපතිවරයා තමයි සහභාගි වුණේ. සමුළුවලට සහභාගි නොවීම ආණ්ඩුව ඔවුන්ගේ ආරම්භක කාලය තුළ සිදුකරගත්ත බරපතළ වරදක්. ආණ්ඩුවට පමණක් නොව එය රටටම සිදුවෙච්ච වරදක් ලෙස තමයි අපි එය දකින්නේ. ඒ වගේම ඊශ්‍රායල් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ඊශ්‍රායලයට ඇතුළු වීම වළක්වාලමින් කරනු ලැබූ නියෝගයට එරෙහිව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය පද්ධතිය එකට නැගී සිටියා. ඒ අවස්ථාවේදී ඒ සඳහා ශ්‍රී ලාංකීය අත්සන යොදන්න නොහැකි වුණා.

අර්බුද රැසකට මැදිවුන රාජ්‍යයක් ලෙස රටට ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍ය මොහොතක අපි එය දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ නොසැලකිලිමත්ව හෝ නැති කරගෙන තිබෙනවා. ආණ්ඩුව කුමන ආණ්ඩුවක් වුණත් ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් මෙය අපේ රට. ඉතිහාසයේ කිසිම දවසක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වෙලා නැහැ. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වුණා. අර්බුද නිර්මාණය කරගත්තේ නැහැ. විවිධ කඳවුරු වෙනුවෙන් පෙනී ඉඳලා ජාතික අනන්‍යතාවය නැති කර ගත්තේ නැහැ. පළමු වතාවට අපි මෙය දකිනවා. මෙය රටට නරක ලකුණක්. විදේශ ප්‍රතිපත්තියේ සොහොන් ලකුණක් විදිහටයි අපි මේ දකින්නේ.

කුඩා කැබිනට් මණ්ඩලයක් තිබෙන වර්තමාන රජය සෑම දේයකටම ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය සහභාගි විය යුතුයි කියල අපි කියන්නේ නැහැ. මෙවැනි අවස්ථාවල වෙනත් රටවල් අනුගමනය කළ පූර්වාදර්ශ තිබෙනවා. රාජ්‍ය නායකයාගේ විශේෂ නියෝජිතයෙක් මෙවැනි සමුළුවලට සහභාගි වී තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට අමතරව. අවම වශයෙන් එම පියවර නොගැනීම ඛේදවාචකයක්. වර්තමාන රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියට අපගේ විරෝධය පල කරන්න කැමතියි. ඒවගේම විදේශ ප්‍රතිපත්තිය වැරදි කරගන්නා ලෙස අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා.”

ජාතික ජන බලවේගය විශ්වාස කරලා ඡන්දය දුන් රාජ්‍ය සේවකයන් බරපතල ප්‍රශ්නාර්ථයක

”ජාතික ජන බලවේග ආණ්ඩුව ඔවුන්ගේ විශ්වාසම ඥාතීන් ලෙස විශ්වාස කළේ රටේ රාජ්‍ය සේවයයි. රාජ්‍ය සේවකයන්ගෙන් අති බහුතරයක් පසුගිය ජනාධිපතිවරණ තැපැල් ඡන්දයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමට කටයුතු කළා. නමුත් ජාතික ජන ජන බලවේග ආණ්ඩුවේ දින තිස් හයක කාල සීමාව තුළදී ආණ්ඩුවේ සියලුම ප්‍රතිපත්ති විච්ඡේදනය කර බැලූ විට පෙනෙනවා ජාතික ජන බලවේගය විශ්වාස කරලා ඡන්දය ලබා දුන් රාජ්‍ය සේවකයන් බරපතල ප්‍රශ්නාර්ථ ලකුණකට ගිහිල්ලා තිබෙනවා.

ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළේ මාස හයෙන් හයට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බවයි. මාස හයෙන් හයට වැටුප් වැඩි කිරීම සඳහා වෙනම සූත්‍රයක්ද නිර්මාණය කරන බව ඔවුන් සඳහන් කළා. නමුත් පළවෙනි කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සේවක වැටුප් සමාලෝචනය කිරීම සඳහා තවත් කමිටුවක් පත් කළා. රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා දූරදර්ශී ලෙස කටයුතු කළ කමිටු දෙකක වාර්තා මේ වන විට තිබෙනවා. පළවෙනි වාර්තාව තමයි රනුග්ගේ කමිටු වාර්තාව. එහි වැදගත් නිර්දේශ ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සුබෝදනි කමිටු වාර්තාව. එම කමිටු වාර්තාවල ඵලදායි අනාගතවාදී යෝජනා රැසක් ඇතුළත් වෙලා තිබෙනවා. ආණ්ඩුවට අයවැයක් සම්මත කර ගැනීමට පෙර සිදුකිරීමට හැකි වැඩ කටයුතු රැසක් තිබෙනවා. රටේ මුදල් ඇමතිවරයා ජනාධිපති අනුර දිසානායක මහතා. රටේ අධ්‍යාපන ඇමතිවරිය රටේ අගමැති හරිනි අමරසූරිය මහත්මිය. රටේ පළමු සහ දෙවන පුරවැසියා තමයි මේ තනතුරු දෙකම දරන්නේ. එම නිසා ඇත්ත වශයෙන්ම අවශ්‍යතාවයක් තිබෙනවා නම් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සිදුකිරීමට හැකියාව තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම මේ ආණ්ඩුව සිදුකරයිද කියන ප්‍රශ්නය මතු වෙනවා. ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණ වේදිකාවේදී ජනතාවට ලබා දුන් බලාපොරොත්තු අද කඩ වී තිබෙනවා. ඒවගේම මේ වන විට රටේ ගෑස් පෝලින් , පොල් පෝලින් , පාස්පෝට් පෝලින් , ඇතිවෙලා තිබෙනවා. රට තුළ අර්බුද රැසක් මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසා ජනතාවගේ අනාගතය වෙනුවෙන් වර්තමාන රජය කුමන දායකත්වයක් සපයාවි දැයි කියා විශ්වාස කරන්න අපහසුයි.”

”වර්තමාන ආණ්ඩුව ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමේ දී ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය ප්‍රශ්නකාරී බවක් තිබෙනවා. ඒ වගේම එම වැඩපිළිවෙළ අනීතිකයි. විදුලිබල මණ්ඩලයේ උප සභාපතිවරයාගේ පත්වීම බරපතල ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වී තිබෙනවා. වරාය අධිකාරිය තුළත් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. සතොස ආයතනය සඳහා සිදුකළ පත්වීම් පිළිබඳවත් මේ වන විට චෝදනා එල්ල වෙලා තිබෙනවා.

ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා සහ කොමිෂන් සභාව ඉවත් කර තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකුගේ දැනුම් දීමෙන්. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාට සහ කොමිෂන් සභාවට තවත් ඉතිරිව තිබුනේ මාස දෙකක කාලයක් පමණයි. ඔවුන් කිසිම දවසක දේශපාලනය වශයෙන් ගැතිකම් සිදු කළේ නැහැ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කටයුතු කළේ ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් සහ විශ්වවිද්‍යාල දරුවන් වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ අරගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩුවත් ඔවුන් සමග කිසිදු විරසකයක් ඇති කරගත්තේ නැහැ.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස දෙවතාවක් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්වුණා. ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපකුලපතිවරුන්ම හතර දෙනෙක් නියෝජනය කළා. කෙසේ නමුත් මේ රටේ බුද්ධිමතුන් බිහිකිරීමට කැපවුණ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලූත් පාලක මණ්ඩලය ඇතුලේ එකම උපකුලපතිවරයෙක්වත් නැහැ. නමුත් උප පොලිපතිවරු දෙදෙනෙක් පත් කර තිබෙනවා ආණ්ඩුකාරවරු විදිහට. මේ දේවල් සිදු වෙන්නේ මැතිවරණ කාල සීමාවක් තුළ.මෙය එක් පැත්තකින් අනීතික ක්‍රියාවලියක්.

ජාතික ජන බලවේගය බලයට පත්කළ මේ රටේ බහුතරයක් ජනතාව විශ්වාස කළා ඔවුන් රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරයි කියලා. රට තුළ අලුත් ක්‍රමයේ වෙනසක් ඔවුන් ඇති කරයි කියා ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් ජනතාව අපේක්ෂා නොකළ දේවල් මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ සඳහා අපගේ විරෝධය ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. ආණ්ඩුව මේ කඩ කරන්නේ ඉතිහාසයේ අසාමාන්‍ය ලෙස විශ්වාසයක් තැබු මිනිසුන්ගේ විශ්වාසයයි. එය කනගාටුවට කාරණයක්. ”

ආණ්ඩුව ප්‍රකාශ කළ දේවල් කිසිවක් ඉටු කරලා නෑ

”ජාතික ජන බලවේගය බලයට පත් වුනදා සිට රටේ කිසිදු උද්ඝෝෂණයක් සිදු වුණේ නැහැ. ඉන්ධන මිල ඔක්තෝම්බර් පළමුවැනිදා සංශෝධනය වීමට තිබුණා , විදුලි බිල අඩු කරන බව ආණ්ඩුව ප්‍රකාශ කලා , රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා නමුත් මේ කිසිම දෙයක් ආණ්ඩුව මේ වන විට ඉටුකරලා නැහැ. නමුත් බිමේ කිසිදු උද්ඝෝෂණයක් මේ වන විට වනවිට මේ සම්බන්ධයෙන් ඇතිවෙලා නැහැ. ගුරුවරු පාරට බස්සපු වෘත්තිය සමිති නායකයා ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් කිසිදු කතාබහක් සිදු කරන්නේ නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තිය සමිති නායකයන් මෙවර මහ මැතිවරණයට තරග වදිනවා. ඒ නිසා රට තුළ සාමකාමී පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක ඉතින් හොඳ ලක්ෂණයක්. ”

ආණ්ඩුවට ආදයම් පිළිබඳව ගැටලුවක් තිබෙනවා

”ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නේ සෑම මාසයකම විසිවෙනිදා. 20 වැනිදා රජයේ නිවාඩු දවසක් නම් ඊට පෙර දවසේ වැටුප් ගෙවීම සිදුකරනවා. නමුත් මේ මාසයේ 20 වෙනදා යෙදුනේ ඉරිදා දිනයකටයි. 19 වෙනිදා සෙනසුරාදා දිනයක්. එවැනි තත්ත්වයක දහ අටවෙනිදා එනම් සිකුරාදා දිනයේදී තමයි ගුරුවරුන්ට වැටුප ලබාදිය යුතුව තිබුණේ. නමුත් මේ මාසයේදී ගුරුවරුන්ට වැටුප ලැබුණේ විසි එක් වෙනිදා. ආදායම් පිළිබඳ ගැටළුවක් නැතිනම් මෙය කවදාවත් සිදුවීමට නොහැකි දෙයක්. මෙය සංඥාවක්. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය දින නියමයක් නැතුව අත්හිටුවලා තිබෙනවා.”

ගෙයින් ගෙට මැතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රමුඛතාව

”ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී අපි අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක් තිබෙනවා. අපේ ගෙයින් ගෙට ගොස් ඡන්ද ව්‍යාපාර කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පැවතුණා. අපි නිහතමානීව පිළිගන්නවා අපි එහිදී දුර්වල වුණා කියලා. ජාතික ජන බලවේගය ගෙයින් ගෙට මැතිවරණ ව්‍යාපාර හතර වතාවක් පමණ යන විට සමගි ජන බලවේගය එක් වතාවක්වත් ගෙයින් ගෙට මැතිවරණ ව්‍යාපාරය ගෙන ගොස් තිබුණේ නැහැ. මෙවර මැතිවරණ ව්‍යාපාරයේදී අපි ප්‍රමුඛතාවය දීමට තීන්දු කළේ ගෙයින් ගෙට යන මැතිවරණ ව්‍යාපාරයටයි. නමුත් ප්‍රධාන රැස්වීම් සහ රැළි නොපවත්වා සිටීමට අපි කටයුතු කරන්නේ නැහැ. සෑම ග්‍රාම සේවා වසමකම අපි රැස්වීමක් පවත්වන්න මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව ලංකාවේම ග්‍රාම සේවා වසම් ආශ්‍රිතව රැස්වීම් දාහතර දාහක් සංවිධානය කර තිබෙනවා. ඒ වගේම ජාතික මට්ටමේ රැස්වීම් පහක් හෝ හයක් ඉදිරි දින කීපයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර මහ මැතිවරණයේදී අපි නාභිගත කරන්නේ ගෙයින් ගෙට යාමේ මැතිවරණ ව්‍යාපාරයයි.”

අච්චු ගහපු මුදල් වලින් හෝ සරසවි සිසුන්ගේ මහපොළ මුදල් දෙන්න

”ඒ වගේම මහපොළ ශිෂ්‍යත්වය පිළිබඳව ප්‍රශ්නයක් රට තුළ මතුවී තිබෙනවා. අපි කියන්නේ අච්චු ගහපු සල්ලි වලින් හරි විද්‍යාල දරුවන්ට ඒ මුදල් ලබාදෙන්න කියලා. ඒ මුදල් ලබා නොදීමෙන් දරුවන් දැඩි අපහසුතාවයට පත්වෙනවා. විශ්වවිද්‍යාල දරුවන් ඉතාම අපහසුවෙන් තමයි ජීවත් වෙන්නේ. විශ්වවිද්‍යාල දරුවන් පිළිබඳව ඉතිහාසය වැඩිපුරම කතා කරලා තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. එහිදී අපේ හඬ තිබුණේ ඉතාම අඩුවෙන්. ඒ සම්බන්ධයෙන් කඩිනමින් පියවරක් ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. දරුවන්ට සහ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන පාලනයක් ලෙස මෙවැනි දේවල් අතපසු නොකර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. එය යුක්ති සහගත කටයුත්තක් නෙවෙයි.’

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *