අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නඩුව යළි විභාග කිරීමේ තීරණයක්

තමන්ට නියම තිබෙන අත්හිටවූ සිර දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කර තිබෙන ඇපෑල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීමට අභියාචනාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.

මෙම ඇපෑල අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාල නඩුකරයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් කරන ලද ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව අදාල ඇපෑල මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, පී. කුමාරන් රත්නම් සම්පත් විජේරත්න සහ මායාදුන්නේ කොරයා යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට නියමිතයි.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාල චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත් හිටුවීමට තීන්දු කර තිබුණා.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *