අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් මුදල් වෙන් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත කඩිනමින් මුදල් වෙන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ගෙවුණු පැය 24 තුළදි පුද්ගල මරණ 07ක් වාර්තා වී තිබෙනවා.

අවිස්සාවේල්ල – පුවක්පිටිය – එලිස්ටන් වතුයායේ නිවසක සිටි 78 හැවිරිදි පියා, 36 හැවිරිදි දියණිය සහ හත් හැවිරිදි මිනිබිරිය ගං වතුරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

එමෙන්ම අවිස්සාවේල්ල හේවාඉන්න ප්‍රදේශයේ ද පස් කන්දකට යටවීමෙන් 11 හැවිරිදි දැරියක්ද මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මීට අමතරව දෙයියන්දර – පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. තුවාලකරු ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර, මියගිය දෙදෙනා අවුරුදු 20 සහ 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම, ගාල්ල – තවලම ප්‍රදේශයේදී ගං වතුරට හසුවීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

ඊට අමතරව අකුරැස්ස – පෝරතොට ප්‍රදේශයේ නිවසක් මතට අද උදෑසන පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වයස අවුරුදු 3 ක සහ 16 ක දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මේ අතර පවතින ජල ගැලීම් තත්ත්වයන් නැරඹීමට යාමෙන් වලකින ලෙසයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට, මෙන්ම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් තවදුරටත් මිලි මීටර් 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

මේ අතර අද පෙරවරු 8. 30 සිට පස්වරු 2 දක්වා කාලය තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය කිරිදිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 152 ක් බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

වර්ෂාවත් සමඟ අත්ගලුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ අවට පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව අවදානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *