අවුරුද්දට ගමට යන්න කොටුවේ මහ සටනක්

අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා යෑමට පැමිණි ජනතාව හේතුවෙන් අද (12) උදෑසන පිටකොටුව බස් නැවතුම්පොළ ජනාකීර්ණ වී තිබුණද පස්වරුව වන විට එම තත්ත්වය තරමක් පහව ගියේ ඒ වන විට බොහෝ දෙනෙකු සිය ගම්බිම් බලා පිටත්ව යාම හේතුවෙන්.

කොළඹ නගරයේ වෙනදා පවතින කාර්ය බහුලත්වය අද දිනයේදී පිටකොටුව බස්නැවතුම්පොළට සහ කොටුව දුම්රිය ස්ථානයට පමණක් සීමා වුණා.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අද පැවතියේ දැඩි ජනාකීර්ණ ස්වරූපයක්.

කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි දුම්රිය යොදවා නොමැති බවටයි දුම්රිය මගීන් අද පෙරවරු කාලයේ චෝදනා කළේ.

එහෙත් අද දිනය තුල දුර ගමන් සේවා දුම්රිය 06 ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරිී එන්.ජේ ඉදිපොළගේ සඳහන් කළා.

මේ අතර අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංගම බස් රථ සේවාව හරහා ඊයේ දිනය තුළ පමණක් රුපියල් මිලියන 210 ක අධික ආදායමක් උපයා තිබෙනවා.

එය වසරේ මෙතෙක් ඉපයූ වැඩිම ආදායම බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් අල්විස් කියා සිටියේ.

අලු‍ත් අවුරුදු විශේෂ ප්‍රවාහන සැලැස්ම යටතේ දෛනිකව බස් රථ ගමන්වාර 700ක් කොළඹ සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් දුර ගමන් සේවා බස් රථ සේවා භාවිතයේ අඩුවක් අද දිනයේ දක්නට ලැබුනු බව ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

එමෙන්ම පුන්‍ය කාලය ආරම්භ වනතුරු බස් රථ ධාවනය අඛණ්ඩව සිදු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට සියලු‍ම අධිවේගී මාර්ග ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

අධිවේගී මාර්ගවල රථවාහන ධාවනයෙන් ඊයේ දිනයේදී පමණක් මිලියන 46ක අදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සුරියබණ්ඩාර සඳහන් කළා.

රථවාහන 128,000ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති අතර, සාමාන්‍ය දිනයකට සාපේක්ෂව එය 25%ක පමණ වැඩිවීමක් බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ සහ ඊට තදාසන්න නගරවල රැකියාවල නිරත වූ බොහෝ දෙනෙකු මේ වන විටත් සිය ගම්බිම් වෙත පැමිණ සිටින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *