අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා තිබුණොත් වැඩ වරදී

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

එහිදී අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඒ අනුව අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත් එම අමාත්‍යාංශය සඳහන් කරනවා.

අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර, ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *