ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රිමාන්ඩ් කිරීමට නියෝග

ඉකුත් පාලන සමයේ ඊ – විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියම කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ සුමන්දිරන්, පාඨලී චම්පික රණවක සහ රවුෆ් හකීම් යන අය විසින් ඉදිරිපත් කළ චෝදනා පත්‍ර වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට කියවා දීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා විසින් වග උත්තරකරුට අදාළ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විවෘත අධිකරණය කියවා දුන්නා.

වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා සඳහන් කළේ තමන් එම චෝදනාවලට නිවැරදිකරු බවයි.

එම අවස්ථාවේදී වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අධිකරණය නියෝගය ක්‍රියාත්මක කිරීම හිතාමතාම පැහැර හැරීමට කටයුතු නොකළ බව සඳහන් කළා.

ඉකුත් අගෝස්තු මස දෙවනදා නිකුත් කළ මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීමට තම සේවාදායකයා අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බවත් මතුවූ ප්‍රායෝගික හා තාක්ෂණික අපහසුතා හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව පැවසුවා.

කෙසේ වෙතත් එම නියෝගය සතියක් තුළ ක්‍රියාත්මක කිරීමට තම සේවා දායකයා ප්‍රතිඥා ලබාදෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වග උත්තරකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසම තුළින් අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කළ නොහැකි බව සඳහන් කොට ඇතැයි කියා සිටියා.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා මාස දෙකක කාලයක් ඉල්ලා මුලින් ඉල්ලා සිටි වග උත්තරකරු අවසානයේදී සතියක් ඉල්ලා සිටීම තුළින් ඔහු දරන පරස්පර ස්ථාවරය පැහැදිලි වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මොහු පැහැදිලිවම අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව අවධාරණය කළා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විවෘත අධිකරණය ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරුත්වය සහ අධිකාරි බලයේ ගෞරවය ආරක්ෂා කිරීම අධිකරණයේ වගකීම බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය යනු මෙරට තිබෙන ඉහළම අධිකරණය බවත් එම අධිකරණය විසින් නිකුත් කරන නියෝග හෑල්ලුකොට සුළුවෙන් දැකීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් මෙහිදී සාමාජික විනිසුරු අචල වෙංගප්පුලි අවධාරණය කළා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2024 අංක 08 දරණ අධිකරණ ආයතන වලට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයන් ප්‍රකාරව මෙම වග උත්තරකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල යළි ජනවාරි මස 22 වන දා කැඳවීමටද දින නියම වුණා.

ඊ – වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ඉකුත් පාලන සමයේ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු මස දෙවනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර, එම වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරැණි ආකාරයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස දන්වා ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක්ද නිකුත් කර තිබුනා.

ඊ – වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරැණි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *