ආනයනික සීනි බදු අඩු කිරීම ගැන ගොනුකළ පෙත්සම ජනාධිපතිවරණයට පෙර සලකා බලන්නැයි ඉල්ලීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇතැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් ගොනුකර තිබෙන පෙත්සම ඉදිරි ජනාධිපතිවරණයට පෙර සලකා බැලීමට පියවර ගන්නා ලෙස විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා සිටියා.

මෙම පෙත්සම අද යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී මෙම නඩුකරයට මැදිහත්වීම සඳහා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලීමක් කළ නාගානන්ද කොඩිතුවක්කු මෙම පෙත්සම පෙත්සම්කරු විසින් අධිකරණ බලය අවභාවිතාවට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන බවත් එය ජනාධිපතිවරණයට පෙර සලකා බැලීම සඳහා දිනයක් නියම කරන ලෙසත් ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ නවීන් මාරපන යන අය කියා සිටියේ මෙම නඩුකරයට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 12 වනද කැඳවන ලෙස නියෝග කළා.

2020 වසරේ ආනයනික සීනි සඳහා පනවන ලද රුපියල් 50/- ක බද්ද ශත 25ක් දක්වා අඩුකිරීම තුළින් රජයට රුපියල් කෝටි 1590ක පාඩුවක් සිදුව ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *