ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කොළඹ ආපනශාලා සහ භෝජනාගාර පරීක්ෂාවක්

එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් මේ දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට දෙස් විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙමින් සිටිනවා.

මේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ආහාර අලෙවි කරන ස්ථාන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එහි පළමු අදියර යටතේ කොටුව දුම්රියපොළ අවට ඇති ආපන ශාලා, භෝජනාගාර පරීක්ෂාවට ලක් කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 06ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණු මෙම පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්වුණා.

එහිදී පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කිරීමට කටයුතු කෙරුණු අතර කල් ඉකුත් වූ සහ කෑමට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙඳසැල්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

මේ අතර උත්සව සමයේදී ආනයනික චොක්ලට් ඇතුළු රසකැවිලි වර්ග මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.

කල් ඉකුත්වීමට ආසන්න රසකැවිලි වර්ගවල දින වෙනස් කර විකිණීමට උත්සාහ කළ පිටකොටුවේ වෙළෙඳසැල් කිහිපයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කළා.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 අංකයට ලද පැමිණිල්ලක් මත පාලන මිලට වඩා වැඩි මිලට කිරී සම්බා සහල් අලෙවි කළ වෙළෙඳසැල් වටලා නීතිමය කටයුතු සිදු කර තිබෙනවා.

කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260ක පාලන මිලක් රජය පනවා ඇති නමුත් මෙම වෙළෙඳසැල් කීරි සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කර ඇත්තේ රුපියල් 350කටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *