ඉන්දියාවේ රිදී ආනයනය ඉහළට

වසර දෙකකට පෙර රටවල් අතර අත්සන් කරන ලද ගිවිසුමකින් අපනයනකරුවන් ප්‍රතිලාභ ලබන බැවින් මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉන්දියාවට සිදුකළ රිදී සැපයුම ඉහළ ගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, 2022 දී අත්සන් කරන ලද ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම රිදී ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවයි.

නවතම වාර්තා අනුව 2024 පළමු මාස ​​තුන තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉන්දියාවට රිදී ටොන් 1,542ක් ආනයනය කර ඇතැයි සඳහන්.

එය සමස්ත ආනයනයෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් බව පැවසෙනවා.

එම ඉහළ යාම බොහෝ දුරට තීරුබදු වෙනසෙහි ප්‍රතිඵලයක් බව අපේක්ෂා කරන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ වෙනත් මාර්ග හරහා ආනයනය කරන රිදී 15%ක බද්දකට යටත් වන නමුත් සීපා මාර්ගය යටතේ ආනයනය කරන රිදී සඳහා 8%ක බද්දක් අය වන බවයි.

රිදී ආනයනයේ මෙම වර්ධනය ගෝලීය රිදී වෙළඳාමේ සැලකිය යුතු වැඩි වීමක් සමග සමපාත වන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර බ්‍රිතාන්‍ය පදනම් කරගත් ලෝහ පර්යේෂණ උපදේශන ආයතනයක් වන Metal Focusට අනුව, ඉන්දියාව 2024 පළමු කාර්තුවේ දී රිදී ටොන් 3,730ක් ආනයනය කර තිබෙනවා.

මෙය 2023 දී වාර්තා වූ මුළු ආනයනය ටොන් 3,475 ඉක්මවන අතර මෙම වසරේ දී මෙම වාර්තා ගත රිදී ආනයනය අඛණ්ඩව පවත්වාගෙන ගියහොත් 2022 දී වාර්තාගත ඉහළම ටොන් 9,450 අභිබවා යනු ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *