”උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වනවා”

ලෝකයේ බොහෝ රටවල් යුද්ධයක් අවසන් වූ පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වුවත් අප රටේ යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් එදා මෙදා සිටිය කිසිදු නායකයකුට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවිමට නොහැකි වුවද සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙකම කේන්ද්‍ර කර ගෙන රටම ආවරණයවන ආකාරයට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම විපක්ෂ නායකවරයා සඳහන් කළේ බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට සියයට 42ක දායකත්වය ලබා දෙන අතර සෙසු සියයට 58 ඉතිරි පළාත් 8ට බෙදෙන බවත් නැගෙනහිර පළාත ඒ සදහා ලබාදෙන දායකත්වය සියයට 5ට අඩු බවත්ය.

ඒ අනුව උතුර, නැගෙනහිර පළාත් දෙක මඟින් ලබා දෙන දායකත්වය අවම බව ඔහු සඳහන් කරනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (03) මඩකලපුව එරාවුර් අල් මුනීරා බාලිකා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 281 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මේ පළාත් දෙකේ කාන්තා මූලික පවුල්, යුද්ධයෙන් අවතැන් වූ ස්වාමීපුරුෂයන් අහිමි පවුල් සිවිල් ප්‍රජාවගේ මෙන්ම රණවිරු ප්‍රජාවගේ ද සිටින බැවින් පශ්චාත් යුද සමයේ සැවොම එකට එකතු වී රටම දුක්ඛිත භාවයට පත්ව ඇති මොහොතක තවදුරටත් බෙදී සිටියහොත් රටට අනාගතයක් නොමැති බැවින් ජාතීන් ආගම් වශයෙන් එකට එකතු විය යුතු බව විපක්ෂ නායකවරයා පවසනවා.

මෙම සක්වල වැඩසටහන හරහා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම එකට එකතු විය යුතු බවද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

මේ හැමදේම කටින් කියනවා මෙන්ම මහපොළොවේ ක්‍රියාත්මක කරන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා ලෙස උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ සෑම වසමකම ගම්මානවල සංවර්ධන ඒකක ඇති කරන බවත් ජනාධිපතිවරයා ලෙස තමා මේ සියලු සංවර්ධන කටයුතු e-governance රාජ්‍ය පාලනය තුළ නිරීක්ෂණය කර කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසනවා.

මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ද එක්ව තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *